සසුන’ඹර එකලු කළ ගිරාඹේ ආනන්ද නාහිමිපාණෝ

  👤  4002 readers have read this article !
By mawbima 2018-02-23

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපති ගිරාඹේ ආනන්ද නාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායටත්, සම්බුද්ධ ශාසනයටත් විසල් මෙහෙවරක් ඉටු කළ සංඝ පීතෘවරයෙකි.

අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ වර්ෂ 1938 මැයි මස 19 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩපොළ, ඕතොට කෝරලයේ, ගිරාඹේ නම් වූ රමණීය ගම්පියසෙහි උපත ලැබූහ. උන්වහන්සේගේ පියාණන් වූයේ ප්‍රදේශයේ කා අතරත් ගෞරවයට පාත්‍ර වී සිටි පාරම්පරික වෛද්‍යවරයකු වූ මුතුනායක මහතාය. මෑණියන් වූයේ පොල්ගහවෙල පදිංචිව සිටි බේබිනෝනා උපාසිකා මාතාවය.

ආනන්ද නාහිමියෝ සහෝදර, සහෝදරියන් එකොළොස් දෙනකුගෙන් යුත් පවුලක ජන්ම ලාභය ලැබීමට තරම් වාසනාවන්ත වූහ. උන්වහන්සේට අවුරුදු තුනේදී පමණ සුබ නැකැතින් අතපොත් තබනු ලැබුවේ වාත්ගමුවේ පඤ්ඤාසේකර නාහිමියන් විසිනි.

උන්වහන්සේ පැවිදි වීම සඳහා පේරාදෙණිය සාරානන්ද විහාරයට ගියේ රත්මල්ගොඩ මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබමින් සිටියදී සියඹලන්ගමුවේ කස්සප හිමියන්ගේ මැදිහත් වීමෙනි. ඒ 1949 වර්ෂයේදීය.

එවකට පේරාදෙණිය සාරානන්ද පිරිවෙන හඳුන්වනු ලැබුවේ විජයවර්ධනරාමය යනුවෙනි. එහිදී මාස නවයක පමණ කාලයකදී පැවිදි වීමට අවශ්‍ය මූලික බණ දහම් සියඹලන්ගමුවේ ගුණරතන නායක හිමියන්ගෙන් ඉගෙන ගත්හ. 1949 අගෝස්තු 26 වැනි දින සියඹලන්ගමුවේ ගුණරතන නායක හිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් පැවිදි දිවියට ඇතුළත් වූහ. එම අවධියේදී සියඹලන්ගමුවේ ගුණරතන හිමියෝ කඩුගන්නාවේ සිරිනිවාස මහ පිරිවෙනේ උගැන්වීම් කළහ.
එහිදී පිරිවෙන් අධ්‍යාපනය හැදෑරූ ගිරාඹේ ආනන්ද හිමියෝ 1953 වර්ෂයේදී පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙන ආරම්භ කිරීමෙන් පසු පේරාදෙණිය සාරානන්ද පිරිවෙනෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය විභාගය තෙක් අධ්‍යාපනය හැදෑරූහ.
අතිපූජ්‍ය සියඹලන්ගමුවේ ගුණරතන නාහිමියන් සෙවණේ හැදුණු වැඩුණු ගිරාඹේ ආනන්ද හිමියෝ ගුරුදේවයන් ගිය මඟ අනුගමනය කරමින් ගැඹුරු බණ දහම් ඉගෙන ගත්හ.

ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වී ඇති කවි බණ මුලින්ම මේ රටට හඳුන්වා දෙනු ලැබුවේ සියඹලන්ගමුවේ ගුණරතන නාහිමිපාණන් වහන්සේය.
උන්වහන්සේට දිවයිනේ නන් දෙසින් කාව්‍යමය ධර්ම දේශනා සඳහා ආරාධනා ලැබිණි. මේ තත්ත්වයන් මත සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ පරිපාලන කටයුතු සඳහා නායක හාමුදුරුවන් විසින් ගිරාඹේ ආනන්ද හිමියන් පත් කරනු ලැබීය.

මෙසේ කල්ගත වෙද්දී සියඹලන්ගමුවේ ගුණරතන නාහිමියන්ගේ සමීප ඇසුර හා අනුශාසනා මත ගිරාඹේ ආනන්ද හිමියෝ තරුණ වියේදීම චතුර ලෙස ධර්ම දේශනා පැවැත්වීමේ හිමිනමක් බවට පත්වූහ. ගුරුදේවයන් ගිය මඟ යමින් නායකත්වය හා පරිපාලනය පිළිබඳව හසළ දැනුමක් ගිරාඹේ ආනන්ද හිමියෝ ලබා ගත්හ.
වර්ෂ 1958 වනවිට විසිවන වියෙහි පසුවෙමින් සිටි උන්වහන්සේ 1958 ජූලි 10 වැනිදා කුරුණෑගල මැද්දේගම වැල්ලව දැදුරුඔය උදකුක්ඛෙප සීමා මාලකයේදී උපසම්පදා අධිශීලයට පත් වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කුරුණෑගල ප්‍රාදේශීය සංඝ සභාවේ මූලිකත්වයෙන් උපසම්පදා මහෝත්සවය සංවිධානය කර තිබිණි. ගිරාඹේ ආනන්ද හිමියන් උපසම්පදා කිරීමේදීත් උන්වහන්සේගේ ආචාර්යවරයා වශයෙන් කටයුතු කර ඇත්තේ අති පූජනීය සියඹලන්ගමුවේ ගුණරතන නාහිමියෝය.
සියඹලන්ගමුවේ ගුණරතන නාහිමිපාණන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කර තිබුණු නාරම්මල සීලවතී පිරිවෙන වෙත වැඩම කළ ගිරාඹේ ආනන්ද හිමියෝ එහි සංවර්ධන කටයුතු ඉහළ මට්ටමකට ගෙන ඒමට ඇපකැප වීමෙන් කටයුතු කළහ. මේ සංවර්ධන කටයුතු සඳහා දානපතිනි එන්.එච්. සීලවතී මහෝපාසිකාවගේ උදවු උපකාර ලැබිණි.
වසර හයක් තිස්සේ වසා දමා තිබුණු සීලවතී පිරිවෙන නැවත ආරම්භ කිරීමට උන්වහන්සේ පුරෝගාමී වූහ.

1979 වර්ෂයේ ඔක්තෝබර් 10 වැනිදා අනුරාධපුර ශ්‍රී සාරානන්ද විහාරස්ථානයට වැඩම කරන විට එහි පැවතුණේ ඉතාමත් අඩු පහසුකම්ය. සාරානන්ද මහ පිරිවෙන් පරිශ්‍රය එදා දෙමළ ජාතික මහතකුට අයත්ව තිබුණු ඉඩමකි. මුල්ම කාලයේදී ඒ මහතා පදිංචි වී සිටි ගොඩනැඟිල්ලකට පමණක් සීමා වී තිබුණු සාරානන්ද මහ පිරිවෙන සියලු පහසුකම්වලින් සමන්විත තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇත්තේද ගිරාඹේ ආනන්ද නාහිමියෝය.

අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන උතුරු මැද පළාතේ පමණක් නොව මුළු දිවයිනේම ප්‍රකට විද්‍යා ස්ථානයක් බවට පත් කිරීමට ගිරාඹේ ආනන්ද හිමියෝ ඇපකැප වී ක්‍රියා කළහ.

සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා කුලදරුවන් සසුන් ගත කිරීම ඉතා වැදගත් අංගයක් ලෙස සැලකෙයි. උන්වහන්සේ එලෙස කුලදරුවන් දෙසීයක් පමණ සසුන්ගත කිරීමට මුල් වූහ. 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් සසුන්ගත කළ කුලදරුවන්ගේ සංඛ්‍යාව දහසකි.
සියඹලන්ගමුවේ ගුණරතන නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභාවට උන්වහන්සේ පත්වූහ. පසුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරයෙන්ද පිදුම් ලැබූහ.

කිසි දිනෙක තනතුරු හිසමත තබා නොගත් නාහිමියෝ මේ රටේ නැති බැරි හා අසාධාරණයට ලක්වූ මිනිසුන් වෙනුවෙන් හඬක් නැඟු පැවිදි උතුමෙකි. පාලක පක්‍ෂයේ දුර්වලතා නිර්දය ලෙස විවේචනය කිරීමටත් නිවැරැදි මඟ පෙන්වා දීමටත් උන්වහන්සේ කිසිදිනෙක පසුබට වූයේ නැත. නාහිමියන් තුළ පැවැති මේ උතුම් ගුණ සමුදායට ගිහි පැවිදි බොහෝදෙනා ආදරය කළහ.

ගොවීන්, කම්කරුවන් හා රාජ්‍ය නිලධාරීන්ට යම් අසාධාරණයක් සිදුවූවා නම් ඔවුන් පිළිසරණ පතා ගියේ ගිරාඹේ ආනන්ද නාහිමියන් වෙතය. යමෙක් උන්වහන්සේ වෙත ගොස් උපකාරයක් බලාපොරොත්තු වූවා නම් ක්‍ෂණයකින් එය ඉටුකරදී එම පුද්ගලයාට යම් අස්වැසිල්ලක් ලබා දීම උන්වහන්සේ තුළ පැවති උතුම් ගුණාංගයකි.
සසුන බැබළවීමට අමතරව සමාජ සත්කාර සේවාවන් රැසක් උන්වහන්සේ ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන මුල්කර ගනිමින් ආරම්භ කර තිබිණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අෑත පිටිසර ගම්මානවල පාසල්වල පැවති භෞතික සම්පත් සංවර්ධනය කිරීමටද කටයුතු කළහ. ප්‍රදේශයේ දුෂ්කර විහාරස්ථානවල සංවර්ධනය පිණිසද උන්වහන්සේ කළ මෙහෙවර අති විශාල බව කිවයුතුව තිබේ.

අතිපූජ්‍ය ගිරාඹේ අනුනායක නාහිමියන්ට නිවන් සුව ලැබේවා.

පුබුදුපුර - රුචිර සේනාරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon