කොළඹ පාතාල මරා ගැනිල්ල නවත්වන්න STF මෙහෙයුමක්

  👤  3678 readers have read this article !
By mawbima 2018-02-22

කොළඹ පාතාලය යළි හිස එසවීමත් සමඟ දිගින් දිගටම සිදුවන අපරාධ රැල්ල මැඬපැවැත්වීමේ අරමුණින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ආරක්ෂාව තරකිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ලබාගෙන පැය 24 පුරාම ක්‍රියාත්මක වන විශේෂ වැටලීම් මෙහෙයුම්, හදිසි මාර්ග බාධක, ජංගම මුර සංචාර දියත් කිරීමටද කටයුතු යෙදවූ බව පොලිස් මූලස්ථාන ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.
පළාත් පාලන මැතිවරණය නිමා වීමත්, රට තුළ හටගත් දේශපාලන අස්ථාවර භාවයත් මුල්කරගනිමින් පාතාල නායකයන්ද සිය ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ සැලසුම් දියත් කරමින් සිටින බවද පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී තිබේ.

ගත වූ සතියක කාලය තුළ මෝදර, කෙසෙල්වත්ත, තලංගම සහ බොරැල්ල යන ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් කාන්තාවක් ඇතුළු තිදෙනකු තුවාල ලබා තවත් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබේ.

මෙම වෙඩි තැබීම් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක් සමත් වී නැත.
ආසන්නතම සිදුවීම ලෙස පෙරේදා (20දා) දින බොරැල්ල, කොටා පාර දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමෙන් පාතාල නායක දඩල්ලේ මංජු නමැත්තාගේ ගෝලයකු වන අසිත කුමාර හෙවත් 'ආමි අසිත' නමැත්තා බරපතළ තුවාල ලබා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඩුබායිහි සැඟවී සිටින මාකඳුරේ මධුෂ්ගේ මෙරට සිදු කරන මහ පරිමාණ හෙරොයින් ජාවාරම මෙහෙයවූ හර්ෂ යසස් නමැත්තා 2016දී රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි.


ඝාතනයට ලක් වූ පාතාල නායක 'රණාලේ සමයං' විසින් මෙහෙයවා හර්ෂ යසස් ඝාතනය කළ අතර එම ඝාතනයට පැමිණ ඇත්තේ ආමි අසිත බවද පසුව අනාවරණය විය.
තමාගේ දකුණු අතවන් හර්ෂ යසස් ඝාතනය කිරීමේ වියෝවෙන් සිටි මාකඳුරේ මධුෂ් විසින් පළිගැනීමක් ලෙසට සිය සගයන් දෙදෙනකු යොදවමින් ආමි අසිත ඝාතනය කිරීම සඳහා මෙම වෙඩි ප්‍රහාරය දියත් කර ඇති බවද පාතාල මර්දන ඒකකයන් සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම පාතාල ගැටුම මැඬලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත මෙම විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon