බය නැති - අගමැති කරපු දේවල් නිසා මේ රට අද නන්නත්තාර වෙලා

  👤  3624 readers have read this article !
By mawbima 2018-02-22

බය නැති අගමැති කරපු දේවල් නිසා මේ රට අද අනාථ වෙලා, නන්නත්තාර වන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාව වෙනුවෙන් මේ අගමැති ඉවත් කරලා අලුත් ආණ්ඩුවක් හැදිය යුතුයි යැයි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතා පසුගියදා බේරුවලදී කීවේය.
රටේ මතුව තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳ කරුණු දැක්වීම සඳහා පැවැති රැස්වීමේදී පියල් නිශාන්ත මන්ත්‍රිවරයා මෙසේද කීවේය.
රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර හදන අලුත් ආණ්ඩුව තුළ අපට ලබාදිය හැකි උපරිම සහාය අපි ලබා දෙනවා. අපට වරදාන වරප්‍රසාද අවශ්‍ය නැහැ. ඇමැති කටු සූප්පු කිරීමට අවශ්‍ය නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ අපි සම්පූර්ණයෙන් සහයෝගය දක්වනවා.

මේ ආණ්ඩුවේ බැරිකම දැන් හොඳටම ඔප්පු වෙලා හමාරයි. 29 වතාවකටත් වඩා පරාද වෙලා කුජීත වෙච්ච දේශපාලනඥයකුට මේ රටේ අග්‍රාමාත්‍ය තනතුර කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. අපි රට පුරා ගිහිල්ලා ජනතාවට කියපු දේ පසුගිය පෙබරවාරි 10දා ජනතාව කතිරයෙන් ඔප්පු කළා. ආණ්ඩුවට බැහැ. දැන් ඉතින් ගෙදර යන්න කියන පණිවුඩය ලබා දුන්නා. ජනමතයට සවන් දීලා නම්බු පිටින් බැහැලා යන්න වේලාව ඇවිල්ලා තියෙනවා.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඡන්දයට පෙර බේරුවල ගැන කියපු කතා සේරම අහෝසියි. පරාදයි. අනාථයි. වැරැදියි. ඒ නිසා රාජිත සේනාරත්න මහත්තයට බේරුවල දේශපාලනය කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. රාජිත සේනාරත්න මහතා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, ජනතා මතය පිළිගන්නා කෙනකු නම් එතුමාගේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයවත් අරගෙන දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතුයි. එසේ නැතිව තව තවත් ලැගලා හිටියොත් ජනතාව දේශපාලන කුණු බක්කියට ඇදලා දාන දවස වැඩි අෑතක නෙවෙයි.

බේරුවල නගර සභාව සහ ප්‍රාදේශීය සභාව පුළුවන්නම් දිනලා පෙන්වන්න කියලා රාජිත සේනාරත්න මහත්තයට අභියෝග කළා. රාජිත ඒක භාර නොගෙන පැනලා ගියා. බේරුවල ජනතාව ලබාදුන්න තීන්දුව අනුව රාජිත සේනාරත්න මහත්තයලට ගෙදර යන්න කාලය ඇවිත් තියෙනවා. ඒ නිසා තවදුරටත් ජනමතය සමඟ සෙල්ලම් නොකර ජනතා හඬට කන් දෙන්නැයි රාජිත සේනාරත්න ඇමැතිතුමාට කියනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon