මහින්ද මහත්තයව ආදර්ශයට අරන් බහුතරයට හිස නමා ආණ්ඩුව ගෙදර යා යුතුයි

  👤  3637 readers have read this article !
By mawbima 2018-02-22

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අතිවිශාල ජනවරම පිළිබඳ සැකයක් ඇත්නම් තැන් තැන්වල ගණන් හදමින් නොසිට වහාම මැතිවරණයකට ගොස් ජයගෙන පෙන්වන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග අභියෝග කරයි.
ජනාධිපතිවරණයේදී හංසයාට සහයෝගය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ එක මිටට ගෙන පරාජය කිරීමේ හැකියාව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන පෙරමුණට ඇති බව පැවසූ රණතුංග මහතා දැන් කළ යුත්තේ පොදුජන පෙරමුණේ ජයග්‍රහණය ගණන් සූත්‍රවලින් බාල්දු කිරීම නොව රටේ බහුතර ජනමතයට හිස නැමීම බවත් කියයි.

මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ උඩුගම්පොළදී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීය.

දැන් පළාත් පාලන මැතිවරණය අවසන් වෙලා දින දහයක කාලයක් ගත වෙලා තියෙනවා. ඒ මැතිවරණයේදී පොදුජන පෙරමුණ ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණය නිසා දින දහයක කාලයක් තිස්සේ ආණ්ඩුවේ ලොකු ලොක්කෝ ඉන්නේ අන්ද මන්ද ස්වභාවකයකින්. මේ ආණ්ඩුවත් දැන් අපි කිව්වා වගේම පාණ්ඩුවක් වෙලා ඉවරයි.
සමහරු දැන් අපේ ජයග්‍රහණය ගැන ගණන් සූත්‍ර හදනවා. පොදුජන පෙරමුණ එක පැත්තකට දාලා අනෙක් සියලුම පක්ෂ තනි පැත්තකට ඇවිත් කියනවා. අපි පොහොට්ටුව පරාද කළාලු. මේවට අලුත් පරම්පරාව නම් කියන්නේ සිත නිවන කතා කියලයි. ලබපු පරාජය පිළිගන්නේ නැතුව විකාර දෙඩෙව්වට ජනමතය වහන්න බැහැ.
කාට හරි මේ ප්‍රතිඵල ගැන සැකයක් තියෙනවා නම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහජන ඡන්දයකට යන්න කියලා මම අභියෝග කරනවා. එහෙම වුණොත් අපිට බලාගන්න පුළුවන් මේ රටේ ජනමතය තියෙන්නේ එයාලටද අපිටද කියලා. පුළුවන් නම් ආයෙත් ඡන්දයකට ගිහින් බහුතරය පෙන්වන්න කියලා මම අභියෝග කරනවා.
මේ තත්ත්වය ඇති වුණේ මේ රටේ අලුත්ම දේශපාලන පෙරළියක් කරන්න පොහොට්ටුවට හැකි වුණු නිසයි.

මැතිවරණයට පෙරාතුව මෛත්‍රිපාල ජනාධිපතිවරයා රැස්වීමකදී කිව්වා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 96 දෙනාම තමන් ළඟ සිටගන්නවා නම් නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා කියලා. අපි මේ මැතිවරණයෙන් ලබපු විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරුන් කරපු ඉල්ලීමකට අනුව අපේ සහයෝගය පළ කළා.
ඒ අනුව අපි දැනුම් දුන්නා ඒකාබද්ධ විපක්ෂය නිදහස් පක්ෂ ආණ්ඩුවකට සහයෝගය දෙනවා කියලා. හැබැයි ජනාධිපතිවරයා තමන්ගේ පරණ රංගනයම නැවත කරමින් රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන තැනට ගියා. දැන් ආයෙමත් ජාතික ආණ්ඩු අටමගලක් අටෝගෙන නැවත පාරක් මහ බැංකුව සුද්ද කරන්න ජනාධිපතිවරයා ඉඩ හදලා දීලා තියෙනවා.

දැන් මේ අය ඉන්නේ හොරුත් එක්ක හෙලුවෙන්. හොරු කණ්ඩායම අතහැරලා සුපිරිසුදු ආණ්ඩුවක් හදන්න තරම් හයියක් තමන්ට නැති බව ජනාධිපතිවරයා නැවතත් රට හමුවේ ප්‍රකාශ කරලා ඉවරයි. මිනිස්සු මේ පාර අතටයි බුලත්කොළයටයි කතිරය ගැහුවේ එතුමගේ වේගවත් කතා විශ්වාස කරලයි. නමුත් කතිරයේ උණුසුම යන්නත් පෙරාතුව එතුමා ඒ පොරොන්දුව කඩ කළා. එදා වේදිකාවේදී හොරු හොරු කියලා පට්ට ගහපු රනිල්ව නැවත වරක් අගමැති කරලා ආයෙමත් අර පරණ ගමනම යනවා. ආයෙත් ඡන්දයක් කිට්ටු වෙනකොට රනිල් නරක් වෙයි. මේවා කලින් පිටපත ලියපු නාට්‍ය කියලා අපි කිව්වේ ඒකයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන්ට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා තමන්ගේ අවංකභාවය පෙන්වන්න. තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ හොරු රැළ සමඟ ආණ්ඩු කරනවද එහෙමත් නැත්නම් අපිත් එක්ක එකතු වෙලා සැබෑ විපක්ෂය නියෝජනය කරනවද කියන එක තියෙන්නේ එතුමන්ලාගේ අතේ.
එහෙම නොවුණොත් ඊළඟ මැතිවරණයෙන් පස්සේ දේශපාලන ජීවිතයට සමුදීලා කුඹුරක් කොටාගෙන තමයි ඉන්න වෙන්නේ. අපි ඒ අයට ආරාධනා කරනවා දැන්වත් ජනහද ගැහෙන රාවය හඳුනාගෙන නිවැරැදි පැත්තේ හිටගන්න කියලා. මේ පාර පෙරහැරේ යන්නෙත් කොට අදින අලිම නිසා පස්සේ ඇවිත් අපේ පෙරහැරේ යන්න නම් හිතන්නවත් එපා.

අපි ආණ්ඩුවට කියන්නේ තවදුරටත් මේ රට අස්ථාවර නොකර වහාම මැතිවරණයකට යන්න කියලයි. වෙන රටක ආණ්ඩුව මෙහෙම පැරදුණා නම් මෙලහකටත් ඉල්ලා අස්වෙලා ඉවරයි. මහින්ද මහත්තයා ජනාධිපති මන්දිරයෙන් පිටව ගියේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙන්නත් ඉස්සරයි. එහෙමයි එතුමා ජනමතයට හිස නැමුවේ.
අපි ආණ්ඩුවට කියනවා මහින්ද මහත්තයාව ආදර්ශයට ගන්න කියලා. එතුමව ආදර්ශයට අරන් වහාම මේ රටේ බහුතර කැමැත්තට ඉඩදෙන්න. අපි පෙන්වන්නම් මේ රට ගොඩනඟන හැටි. අපිට රට හදන්න රනිල්ලගේ රෝයල් කල්ලි ඕනේ නැහැ. මහින්ද මහත්තයා වටා ඉන්න ගමෙන් ආපු නායකයන්ට පුළුවන් මේ රට හදන්න.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon