අනවශ්‍ය විවේචන නතර කිරීමට ඉදිරියේදී බරපතළ තීන්දුවක් ගන්නවා

  👤  3951 readers have read this article !
By mawbima 2018-02-22

ආණ්ඩුවේ ඇතැමුන් කළ විවේචන ආණ්ඩුවේ පසුබෑමට හේතු වූ බැවින් මෙවැනි විවේචනවලට ඉදිරියේදී ඉඩ නොතැබීමට බරපතළ තීන්දුවක් ගන්නවා යැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
ඔහු එසේ පළ කළේ ඊයේ (21දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින්ය. එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ඔහු මෙසේද පිළිතුරු දුන්නේය.

කැබිනට් සංශෝධනයක් වෙනවා කියනවා. කවද්ද වෙන්නෙ?
කැබිනට් සංශෝධනයක් දැනටමත් කරගෙන යනවා. ඒක ප්‍රකාශයට පත් කරන දවසනෙ ප්‍රශ්නයකට තියෙන්නෙ. මේ සතිය ඉවර වෙන්න ඉස්සෙල්ල කරන්න පුළුවන් කියල හිතන්න පුළුවන්.

එතකොට අගමැති සංශෝධනය?
ඒවා ඉවරයි. ඒත් ශ්‍රී ලනිප අය කියනවා ඒ සටන දිගටම කරන්න කියලා. ඔය නිදහස් පක්ෂය කියන්නෙ එක එක්කෙනා කියන ඒවනෙ. සන්ධානෙ ලේකම් කිව්වා කියලා ලංකාදීප පත්තරේ දාල තිබුණේ අමූලික බොරුවක්.
දයාසිරි ජයසේකර සහ සුසිල් ප්‍රේම්ජයන්ත ඇමැතිවරු කැබිනට් රැස්වීමට නොගිහින් තිබෙන්නේ ඇයිද?
ඒව ඒගොල්ලන්ගෙන්ම අහන්න.

දයාසිරි ජයසේකර මින් ඉදිරියට කැබිනට් මාධ්‍ය හමුවට පැමිණෙන්නෙ නැද්ද?
ඒක එයාගෙන් අහන්න ඕන.

ජාතික රජය වෙනුවෙන් අස්සන් කළ ගිවිසුමේ වසර දෙක අවසන්. ඒ නිසා ඇමැති මණ්ඩලය වලංගු නොවන බව ඇතැමුන් කියනවා?
ඒක දේශපාලන තීන්දුවක්. ඒකට නීතිමය ගැටලුවක් නැහැ. පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතු නැහැ.

පාසල් සිසුන්ට ටැබ් දීමේ කැබිනට් පත්‍රිකාව අවලංගු කළේ ඇයි?
ඉදිරි අවුරුදු 20 ජනතාවට වැඩියෙන්ම බලපාන ක්‍ෂේත්‍ර මොනවාද කියල බලල ඊට මුදල් යෙදීමේදී ප්‍රමුඛතාව දෙන්න කියලා ජනාධිපතිතුමා කිව්වා. ටැබ් දීමට එකවරම මුදල් වෙන් නොකොට 20%කටවත් මුලින් ක්‍රියාත්මක කොට එහි ප්‍රගතිය බලල ඉදිරි කටයුතු කරන්න කියලා කිව්වා. අවුරුදු 2ක් ඇතුළත දී කළ යුතු ව්‍යාපෘති මොනවද කියලා ප්‍රමුඛතා හඳුනාගන්න ආචාර්ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒකට ශ්‍රී ලනිප හා එජාප ඇමැතිවරුත් පත් කළා.
ආණ්ඩුවට මුදල් නැති නිසාද මහා පරිමාණ ව්‍යාපෘති නතර කරන්නේ?

රජයට ණය ගන්න පුළුවන් සීමාවකට විතරයි. අපට ණය දුන්න පළියට ණය ගන්නෙ නැහැ. ඒත් ගිය ආණ්ඩුව ලංකා බැංකුව ආදිය මඟින් ණය හංගල දානවා. දැන් ඒක ගණනය කරනවා. විගණකාධිපතිත් කිව්වේ ඒකයි විශාල ණය ප්‍රශ්නයක පැටලිලා ඉන්නවා කියලා.
අගමැතිවරයා හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කරන බවට ඇතැමුන් කියනවා?

රාජපක්ෂවරුන්ට සහ ගැත්තන්ට තිබෙන මිනීමැරුම් සහ මහා පරිමාණ දූෂණ, වංචා පරීක්ෂණ අපි බලාපොරොත්තු වුණු විදියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක මං දන්නෙ නැහැ මොන සම්බන්ධයෙන්ද කියලා. ඒක ඉස්සරහට හරියට කෙරෙනවා
ගල්යිෆොසෙට් තහනම ලිහිල් කරන්නට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණාද?

නැහැ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි ආසන ගණනක් දිනාගත් ඇතැම් කොට්ඨාසවල එජාපය හා ශ්‍රී ලනිප එකතුව බලය පිහිටුවීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එකඟද?
පාර්ලිමේන්තුවෙත් එහෙම වුණානෙ. 1960 මාර්තුවේදී ඩඩ්ලි සේනානායක පැරැද්දුවේ එහෙමනෙ. අනෙක පොහොට්ටුව ගත්තෙ 46%යිනෙ. බහුතරය තියෙන්නෙ අපටනෙ. ආණ්ඩුවෙත් අපි එකට ඉන්නවා. ගම් සභා ක්‍රමය තියෙන කාලෙත් මෙහෙම එකතු වෙලා බලය පිහිටුවලා තියෙනවා.
ජනාධිපතිතුමාට අවශ්‍ය නම් අගමැති ධුරය වෙනස් කිරීමේ හැකියාවක් තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ අදහසයි?
එහෙම අසනීපයක් ජනාධිපතිතුමාට නැහැ.

අර්ජුන මහේන්ද්‍රන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අධිකරණය දැනුම් දී තිබුණත් ඔහු ආවේ නැහැ. රජය මේ පිළිබඳ ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද?
රජයක් හැටියට නෙවෙයිනෙ ආරක්ෂක අංශවලින් ඒව කරන්නෙ.
ඒත් ඔහු මහ බැංකුවෙ අධිපති විදියට පත් කිරීම ගැන වගකීම භාරගන්නව කියල අගමැතිවරයා කියා තිබුණා?
ඒත් ඔහු මෙහාට එනව කියලා කොහොමද වගකීම ගන්නෙ. එයා එන්නේ නැත්නම් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ගෙන්වා ගත හැකියි.
ඒත් ආණ්ඩුවේ පක්ෂ දෙක එකිනෙක විවේචනය කර ගන්නවා?

ඒක වැරැදියි.
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සම්බන්ධව ඉදිරි කටයුතු මොනවාද?
ඩොලර් මිලියන 26ක් හොංකොංවල එම ගනුදෙනුටම අදාළව තිබෙනවා. මේ අවුරුද්ද අවසන් වෙනකොට මොකද වෙන්නෙ කියලා බලාගෙන ඉන්න. මරු සිරත්, වීරප්පනුත් හිටියෙ පුළුවන්නම් අල්ලපන් කියලයි. ඒත් මැරෙනකම්ම දන්නෙ නැහැ.
පවතින අර්බුද සම්බන්ධව ජනාධිපතිතුමා මේ වන තුරුත් ප්‍රකාශයක් කොට නැත්තෙ ඇයි?
එතුමා හිමින් කරාවි! එතකම් අවශ්‍ය ප්‍රකාශ මම කරනවනෙ. බුදු හාමුදුරුවොත් කිව්වනෙ 'කාලො අයංතෙ' කියලා වෙලාව ආවාම ප්‍රකාශ කරාවි!
ගොවීන්ට පොහොර වෙලාවට නොලැබීම බරපතළ ප්‍රශ්නයක් වෙලා?

ඒක අපේ අතින් වූ වැරැදීමක්. සල්ලි දුන්නා. පොහොර නැහැ. තව දවසක් දෙකක් බලන් ඉන්නකො. අවශ්‍ය ප්‍රතිකර්ම කරනවා. පොහොර ගන්නත් වවුචරයක් දෙනවා.
දූෂිතයන්ට දඬුවම් දීම තවත් ප්‍රමාද කරනවද?
දැන් ඒකෙ පනත ගෙනැල්ලා සම්මත කරලා තියෙන්නෙ. තව සතියක් හමාරක් යනකොට අධිකරණ 3ම පිහිටුවනවා. එතකොට දිනපතා නඩු අහනවා.
ජනාධිපතිතුමා ආණ්ඩුව විවේචනය කිරීම ගැන මතය කුමක්ද?

ඒක වෙනම කියන්නම්කො.
ඉතිරි අවුරුදු දෙකත් ඔහොම ගියොත්?
එහෙම යන්නෙ නැහැ. එහෙම වුණොත් අපිත් වෙනම තීන්දු ගන්නවා.
බස් එකක පිපිරුමක් වෙලා ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්ද?
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා

යාපනයේ සිට දියතලාව දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක එහි සිටි මගීන් කහගොල්ලේදී තවත් බස් රථයකට මාරු කරල තියෙනවා. ඒක සාමාන්‍යයෙන් දෛනිකව සිදුවෙන දෙයක්. එසේ මාරු කරල දියතලාව දක්වා යන විට ගින්නක් සමඟ පිපිරීමක් හෝ පිපිරීමක් සමඟ ගින්නක් ඇති වෙලා තිබෙනවා. එහිදී යුද හමුදාවේ 7ක්, ගුවන් හමුදාවේ 5ක් සහ සාමාන්‍ය වැසියන් 7ක් තුවාල ලබා තිබෙනවා. ඉන් හමුදා නිලධාරීන් දෙදෙනකුට බරපතළයි. ඒ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා. නමුත් එහි පිටුපස ත්‍රස්තවාදී ක්‍රියාවක් නැහැ කියල අපි විශ්වාස කරනවා.

ඇයි මගීන් මාරු කරන්නේ?
සමහර විට දුර වැඩි නිසා එහෙම කරනවා ඇති.
ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු
ශ්‍රී ලංකාවට ගෙන්වන්නේ ඇයි?
ඒ ප්‍රශ්නය අපි ඉවර කළත් මේ ප්‍රශ්නය නැවත නැවත මතුවන දෙයක් වුණා. ඒ නිසා ඒ ගැන කතා කිරීමට තමයි හමුදාපතිතුමා ඔහු ගෙන්වන්නෙ. ඒක රාජ්‍ය සේවයේ තියෙන කටයුත්තක්. විනය සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ.

කිසිවකුගේ බලපෑම් මතද ඔහු ගෙන්වන්නෙ?
බලපෑම් තියෙන්න ඇති. ඒත් මේ ගෙන්වන්නේ සාකච්ඡා කිරීමට පමණයි.
ඔහු වෙනුවට වෙනත් කෙනෙක් අනුයුක්ත කරනවාද?

නෑ. නෑ. තවම එහෙම නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon