දැයක් එකලු කළ මිණි පහන ගිරාඹේ ආනන්ද අනු නා හිමියෝ

  👤  3301 readers have read this article !
By mawbima 2018-02-22

ආදාහන පූජෝත්සවය 24දා අනුරාධපුරේ

මිහින්තලය - ර.මු.සු. රත්නායක
සම්බුද්ධ ශාසනයටත් රටටත් ජාතියටත් අමිල සේවයක් ඉටු කළ අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන් විහාරාධිපති හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අපවත් වී වදාළ අති පූජ්‍ය ගිරාඹේ ආනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 24 වැනිදා සෙනසුරාදා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ.

පේරාදෙණියේ ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි අධ්‍යාපනය ලද ගිරාඹේ ආනන්ද නාහිමියෝ 1958 ඔක්තෝබර් 19 වැනිදා කුරුණෑගල වැල්ලව උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදාව ලබාගත්හ. පසුව 1975 ඔක්තෝබර් 19දා අනුරාධපුර පූජා නගරයට පැමිණ අනුරාධපුර ශ්‍රී සාරානන්ද විහාරස්ථානය හා පිරිවෙන ආරම්භ කළ උන්වහන්සේ අපවත් වන තුරුම එහි වැඩ වාසය කළහ. අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිය ජීවිතයම කැප කළේ සම්බුද්ධ ශාසනයේ චිරස්තිථියටත් බෞද්ධ ජනතාවගේ මෙන්ම ශ්‍රී ලංකාවාසී ජනතාවගේ අභිවෘද්ධිය පතා සේවය කිරීමටත්ය.

ජාතික ප්‍රශ්නවලදී නොබියව ඉදිරියට පැමිණ තම මතය සමාජ ගත කළ උන්වහන්සේ සමඟි සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට මහඟු මෙහෙවරකට නායකත්වයද ලබා දුන්හ.

මේ නිසා ආගම්, ජාති, දේශපාලන භේදයෙන් තොරව සියලුම පාර්ශ්ව ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ අවවාද අනුශාසනා ලබා ගැනීමට උන්වහන්සේ වෙත පැමිණියහ.
විශේෂයෙන් ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ චරිතයේ සුවිශේෂ ලක්ෂණය වූයේ ඕනෑම රාජ්‍ය නායකයකුට, පුද්ගලයකුට අවංකව ඍජු ලෙස තම මතය ප්‍රකාශ කිරීමයි. කිසි විටෙකත් උන්වහන්සේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා ක්‍රියා නොකළහ. එනිසාම ජනතාව අතර සුවිශේෂ පිළිගැනීමක් අති පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනු නාහිමියන්ට හිමිවිය.

සැබෑ දේශ හිතෛෂී
සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක්

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්
කබීර් හෂීම්

පවිටු දුර්ජන බලවේගවලින් මිදී, සැබෑ බෞද්ධ යතිවරයකු ලෙස ආගමික හා ජාති භේදයන්ගෙන් තොරව සකළ විධ රට වැසියන් වෙනුවෙන් සාධාරණය සහ යුක්තිය ඉටු කරවා ගත හැකි දේශයක් වෙනුවෙන් පවිත්‍ර චේතනාවෙන් කටයුතු කළ ගිරාඹේ අනුනායක හිමියන් නික්ම ගියද උන්වහන්සේ පෙනී සිටි යහපාලන දේශපාලන සංස්කෘතිය මඟින් මෙරට සමස්ත පුරවැසියන්ට භේදයකින් තොරව සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමේ වගකීමට සුගතිගාමී ආත්මයක සිට වෙනදාටත් වඩා ශක්තිවන්තව ආශීර්වාද කරන බව නිසැක යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

මං ඉතා සමීපව ඇසුරු කළ එම යතිවරයාණන් ආගමික පුනර්ජීවනයට කටයුතු කළ අයුරෙන්ම, සැබෑ දේශහිතෛෂී සංඝ පීතෘවරයාණන් වහන්සේනමක් ලෙස, කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව අභීතව දිවි දෙවැනි කොට සටන් වැදීමේ ශක්තියෙන් හා භක්තියෙන් යුතු හිමිනමක් බව අවිවාදිතය.
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමියන්ගෙන් පසුව, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට නායකත්වය සපයමින් සිටි ආනන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, එක්සත් ජාතික පක්ෂය කෙරෙහි අප්‍රමාණ වූ ළෙන්ගතුකමකින් කටයුතු කළ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් බව කීම නි' බොරුය. ඒ වෙනුවෙන් තරාතිරම නොබලා පටු හැඟීමකින් තොරව ඕනෑම බලවේගයකට අභීතව මුහුණ දෙමින් කටයුතු කළ අයුරු ප්‍රශස්තය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ට පක්ෂය සහ ජාතික මෙහෙවර වෙනුවෙන් නිර්ලෝභීව, සිය නැණසින් මඟ පෑ යතිවරයාණන් වහන්සේ, එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන පිබිදීම වෙනුවෙන් හේතු වූ නායකත්ව මණ්ඩලය වැනි ධනාත්මක යෝජනාවන් පක්ෂ නායකත්වයට ඉදිරිපත් කිරීමට නොපසුබට විය. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රී මතාණන්ගේ සිට එක්සත් ජාතික පක්ෂයේ ශාසනාල ක්‍රියාවලියට මෙන්ම දේශමාමක ක්‍රියාවලියට අර්ථයෙන් ධර්මයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද සම්බන්ධව සිටි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඓතිහාසික අනුරාධපුර සාරානන්ද විහාරාධිපතිවරයාණන් වහන්සේ ලෙස වැඩ වෙසෙමින් ගිහි, පැවිදි සකළ ලක් වැසියන් කෙරෙහි උපන් මහත් වූ කරුණාවෙන් කරන ලද සේවය මිල කළ නොහැකිය.

උන්වහන්සේ ආත්මයෙන් ආත්මය මෙවන් පින්බර, ආත්මයක් වෙනුවෙන් එකතු කරගත්තා වූ කුසලයන්හි බලයෙන්ද, මේ අත්භවයේ සපුරාගත් මහත් වූ පුණ්‍ය බලයෙන්ද, අමාමහ නිවනට පැමිණේවා.

ජාතියක් ලෙස අප සැමට දැරිය නොහැකි පාඩුවක්
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

අසූ වසක් ආයු වළඳමින් උදාර ආදර්ශවත් දිවියක් ගත කළ ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ අපවත් වීම ජාතියක් ලෙස අප සැමට දැරිය නොහැකි පාඩුවක් වුවත් ආදර්ශවත් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙස අනුනාහිමියන් අනුදැන වදාළ පරිදි සමාජ යහපත උදෙසා දිවි හිමියෙන් කැපවීම උන්වහන්සේට දැක්විය හැකි ඉහළම ගෞරවය බව පාර්ලිමේන්තුවේ සභා නායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
එම පණිවුඩයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

බෞද්ධාගමිකයන් වශයෙන් නිරතුරුව ගෞරවනීය සඟ පරපුරේ අවවාද අනුශාසනා අනුව කටයුතු කරන ශ්‍රී ලාංකේය ජනතාවට අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ අපවත් වීම පිරිමැසිය නොහැකි පාඩුවකි.

ආදර්ශවත් පැවිදි දිවියක් තුළින් අනාගත සඟ පරපුරටද පූර්වාදර්ශයක් වූ උන්වහන්සේ ඉටුකළ ආගමික, ශාසනික හා සමාජීය මෙහෙවර සදා අනුස්මරණීය වේ.
වසර අසූවක දිවි ගමනේ වසර 69ක්ම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් ලෙස අනුනාහිමියෝ සසුන් කෙත බැබළවූහ. අතිශය කටුක කාල පරිච්ඡේදයන්හිදී පවා ශාසනික උන්නතිය වෙනුවෙන් කැප වූ උන්වහන්සේ පැවිදි දිවියට පත් පේරාදෙණිය සාරානන්ද පිරිවෙන මූලික කරගනිමින් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ආරම්භ කළ පිරිවෙන් විහාරස්ථාන රැසක උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් සිදුකළ බව නොරහසකි.

නාරම්මල සීලවති මහා පිරිවෙන, අනුරාධපුර සාරානන්ද පිරිවෙන ඇතුළු සිද්ධස්ථාන දියුණු කරමින් ආගමික ප්‍රබෝධය ඇති කිරීමටත් බෞද්ධ ජනතාවගේ පහසුකම් සැලසීම උදෙසා කරන ලද්දා වූ මෙහෙවර අනුනාහිමියන් විසින් අඛණ්ඩව සිදුකරන ලදී.
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ උත්තරීතර සභාවේ නියෝජිතයකු ලෙස අප අනුනාහිමියන් උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ අනාගත සුබසිද්ධිය උදෙසා නිරතුරුව අවවාද අනුශාසනා කළහ.

එසේම රට තුළ පවතින දේශපාලන සංස්කෘතික තත්ත්වය පිළිබඳව අවදියෙන් යුතුවත් විචාරශීලීවත් කටයුතු කළ උන්වහන්සේ අපටත්, රජයටත් අවශ්‍ය සෑම අවස්ථාවකදීම නිසි මඟ පෙන්වීමට කටයුතු කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon