14 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය මෙම සති අන්තයේ කිලිනොච්චියේදී

  👤  3928 readers have read this article !
By mawbima 2018-02-21

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන 14 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය මෙම මස 24 සහ 25 යන දිනවල කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම තරගාවලිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති අතර ඒ සඳහා ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති කර්නල් ජානක රණසිංහ, ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු, භාණ්ඩාගාරික ඩී. එන්. සංජීව, උප සභාපති ඒ. එන්. සේරසිංහ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරි හේමන්ත බණ්ඩාර යන මහත්වරු සහභාගි වූහ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ යෝජනාවකට අනුව උතුරු පළාත තුළ කඹ ඇදීමේ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනය මඟින් 14 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය කිලිනොච්චියේදී පවත්වනු ලබන බව සභාපති ජානක රණසිංහ මහතා පැවැසීය. මෙම තරගාවලියේදී පිරිමි අංශයෙන් කිලෝග්‍රෑම් 640 බර පංතිය යටතේ ද කාන්තා අංශයෙන් කිලෝග්‍රෑම් 540 බර පංතිය යටතේ ද තරග පැවැත්වෙන අතර කාන්තා කණ්ඩායම් 7ක් ද ඇතුළුව කණ්ඩායම් 18ක් මේ වන විටත් තම සහභාගීත්වය තහවුරු කර ඇති බවත් එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සභාපතිවරයා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කර්නල් ජානක රණසිංහ මහතා "1900-1920 වර්ෂය වනතෙක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉතාමත් ජනප්‍රිය ඉසව්වක් වූ කඹ ඇදීමේ ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ විධිමත්ව ජාත්‍යන්තර නීති රීති අනුව පැවැත්වීමත් එය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමත් අපගේ ප්‍රධාන අරමුණක් වෙනවා." යනුවෙන් පැවැසීය.

මෙම තරගාවලිය ජාත්‍යන්තර නීති රීතිවලට අනුකූලව විවෘත තරගාවලියක් ලෙසින් පඵැවැත්වෙන බැවින් ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ ලියාපදිංචි නොවූ ක්‍රීඩා සමාජවලටද ඒ සදහා සහභාගි විය හැකි බව මෙහිදී අදහස් දැක්වූ එම සම්මේලනයේ ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා පැවැසීය. තවද මෙම තරගාවලිය පිළිබද වැඩි විස්තර ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා (අංක 0717397830, 0718776973) හෝ වික්‍රමසිංහ මහතා (අංක 0717599332) අමතා ලබාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon