නිවැරැදි දේ තෝරා බේරා ගන්න නම් ජනතාවට දේශපාලන දැනුම බත් එක්ක අනා කැවිය යුතුයි

  👤  3994 readers have read this article !
By mawbima 2018-02-21

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව තෝරාගෙන තිබෙන්නේ ඔවුන්ගේ මන ‍ෙදාළ පිනවීමට සමත් පුද්ගලයන් බවට ඇතැම් කොට්ඨාසවල ඡන්ද ප්‍රතිඵලවලින් දැනගැනීමට හැකිවූ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක පවසයි.
එයට හොඳම උදාහරණය මාතලේ දිස්ත්‍රික්කයේ එක් කොට්ඨාසයකින් විදුහල්පතිවරයකු පරාජයට පත්වී ගමේ කසිප්පු මුදලාලි ජයග්‍රහණය කිරීමෙන් පෙනී යන බවත් මැතිවරණයට පෙර දිනයේදී දෙන ලද රුපියල් 1000ක නෝට්ටුවක් හෝ අරක්කු බෝතලයකින් මෙය සිදුවී තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.
මාර්තු 12 ව්‍යාපාරය ඊයේ (20දා) කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල ගජනායක මහතා
මේ වන විට දේශපාලන පක්ෂ යම් ආකාරයකට සන්ධාන ගත වෙමින් ඉන්නවා තමන්ගේ සභාපතිවරුන් ප්‍රාදේශීය සභාවලට පත් කරන ආකාරය ගැන. අපි මෙතෙක් කරපු නිරීක්ෂණයන්ගෙන් තහවුරු වෙන්නේ යම් යම් අපචාරමය චෝදනාවන් තිබෙන පුද්ගලයන් මුල් පුටුවලට ගෙන ඒම සඳහා යම් ආකාරයකට දේශපාලන පක්ෂ ලැජ්ජා විරහිතව කටයුතු කරමින් සිටින ආකාරය.

අපි මාර්තු 12 ව්‍යාපාරය විදියට යම් අවස්ථාවල ජනතාව දැනුවත් කළා මෙවැනි පුද්ගලයන් පිළිබඳව. නමුත් දැන් ප්‍රතිඵලය ලැබිලා තියෙනවා. අපිට නිරීක්ෂණ අනුව පෙනී යනවා ජනතාව තෝරාගෙන තිබෙන්නේ බහුතරයක් අපරාධකාරී චර්යාවන් තිබෙන, දූෂණයට දායක වූ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයන්ට දායක වුණු පුද්ගලයන්ව.
මෙහි සරදම් සහගත දේ වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරයෙක් තරග කළා. ඒ විදුහල්පතිවරයාට ලබා දීලා තිබුණේ ඡන්ද 62ක් පමණයි. ඒ විදුහල්පති සමඟ ඒ කොට්ඨාසයටම තරග කරපු ගමේ කසිප්පු මුදලාලි කෙනෙක් ඡන්ද වැඩියෙන් අරගෙන දිනුවා. ජනතාවට අවශ්‍ය වන්නේ මෙය නම්, අපිට ඔවුන්ගේ බත්පත සමඟ අනා කැවිය නොහැකියි කවර පුද්ගලයෙක්ද තෝරා ගත යුත්තේ කියලා.

අපි හැම අවස්ථාවකදීම දේශපාලන
පක්ෂවලට කිව්වා තෝරා ගත යුතු පුද්ගලයන් පිළිබඳව. නමුත් මාතලේ දිස්ත්‍රික්කයේ මේ උදාහරණයෙන්ම අපිට පේනවා කවර ආකාරයකටද ජනතාව ඔවුන්ව තෝරාගෙන තියන්නේ කියලා. හදවත් සොරා ගන්නා දේශපාලකයන් ඉදිරියේදී නීතිය අසරණයි කියලා අපිට පේනවා. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කවර නීතියක් තිබුණත් ජනතාවගේ මන ‍ෙදාළ පිනවීමට සමත් පුද්ගලයන් තෝරාගෙන තියෙන්නේ. මැතිවරණ දිනයේදී සහ ඊට පෙර දිනයේදී දෙන ලද රුපියල් 1000ක නෝට්ටුවකින් හෝ අරක්කු බෝතලයකින් තමයි මේක වෙලා තියෙන්නේ. ඒ තමයි යක්කුන්ගේ හැටි සහ යකුන්ගේ විමානයේ හැටි හෙවත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ගති ස්වභාවය.
අපි කියනවා අඩුම තරමින් ප්‍රාදේශීය පාලකයන් තෝරා ගැනීමේදී යම් ප්‍රාදේශීය සභාවක සභාපති තමයි ප්‍රභූවරයා වෙන්නේ. එම ප්‍රභූවරයා අඩුම තරමින් සමාජයේ හැම කුලයකටම ආදර්ශයට ගත හැකි පුද්ගලයෙක් පත් කරන්න කියන කාරණය.
දැන් මේ දවස්වල කතරගම දේවාලය ගාව ඉන්නවා තමන්ට සභාපති ධුරය ලැබේවා, නගරාධිපති ධුරය ලැබේවා කියලා බාරහාර වෙන පිරිස. මාර්තු 12 ව්‍යාපාරය විදියට අපි කියනවා සැබෑ දෙවියන් වන්නේ පක්ෂ ලේකම්වරු සහ ආසන සංවිධායකවරු කියලා.
අපි හොඳයි කියලා හිතපු ආසන සංවිධායකවරු පවා තෝරන්න හදන්නේ තමන්ගේ හෙංචයියන්, ව්‍යාපාරිකයන් මිසක් ජනතාව පිළිගත්ත පුද්ගලයන් නෙවෙයි. මෙවැනි පුද්ගලයන් තේරුණහොත් පිරිසුදු දේශපාලන සංස්කෘතියක් හදන්න කාරණය අපිට අපහසු වෙනවා.

ඒ වගේම තමයි අපිට ලැබුණු වාර්තාවලින් හෙළිවෙනවා පශ්චාත් මැතිවරණ සමය තුළ කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් අගතියට පත්වුණා. අපිට ලැබුණු නිරීක්ෂණවල තියෙනවා පරාජය වූ කාන්තාවන්ට දැඩි පීඩනයක් එල්ල වූ බව. කළු තෙල් ප්‍රහාර එල්ල කරන ලද අපේක්ෂිකාවන්ගේ ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. කාන්තාවන්ට මේ විදියට එල්ල වූ පීඩනවලට එකදු දේශපාලන පක්ෂ නායකයෙක්වත් තවම ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළේ නැහැ මේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී කාන්තාවන්ට සිදුකරන අගතීන් නවත්වන්න කියලා.

ඒ වගේම තමයි දැන් මේ වෙනකොට කාන්තා නියෝජනය අඩපණ කිරීමට රහසින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. එක්සත් ජාතික පක්ෂයට කිසිදු අයිතියක් නැහැ කාන්තා නියෝජනයට අදාළ වරප්‍රසාද අඩු කරන්න. හේතුව තමයි එක්සත් ජාතික පක්ෂය තමයි මෙහි සම්පූර්ණ ගෞරවය ලබාගත යුත්තේ. කාන්තා නියෝජනය ලබාදීම සඳහා ඔවුන් දැඩි උත්සාහයක් කලින් ගත්තා. නමුත් දැන් එම දේශපාලන පක්ෂයේ යම් යම් ඇමැතිවරුන්, මන්ත්‍රිවරුන් කුමන්ත්‍රණය කරනවා කාන්තා නියෝජනය අඩපණ කිරීමට. අපි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා පක්ෂයේ නායකයා විදියට මේ ලබා දෙන ලද කාන්තා නියෝජනය අබමල් රේණුවකින් හෝ අඩු කිරීමට කටයුතු නොකළ යුතුයි කියලා.

 උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon