පුංචි ඡන්දෙන් සමස්ත ඡන්දදායකයන් පරාජය වුණා

  👤  3882 readers have read this article !
By mawbima 2018-02-21

සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවා ගැනීමට දායක නොවූ සරණාගත පිරිසක් 2015 ජාතික වැඩපිළිවෙළට අකුල් හෙළීමේ ප්‍රතිවිපාක පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් ප්‍රකාශ වූ බව ජාතික විද්වත් සංසදයේ සභාපති මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඔහු එම අදහස් ප්‍රකාශ කළේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී 'ජාතික විද්වත් සංසදය' ඊයේ (20දා) පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

''සම්මුතිවාදී ආණ්ඩුව 2015දී පිහිටුවන අවස්ථාවේ මේ රටේ මහජනතාව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීම ආදිය බලාපොරොත්තු වුණා. පසුගිය වසර දෙක තුළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයත්, මාධ්‍ය නිදහසත් ලබා දීමට සම්මුතිවාදී ආණ්ඩුවට හැකියාව ලැබුණා.
ප්‍රජාතන්ත්‍රවාදී ඕනෑම සමාජයක ආණ්ඩුවක් පත්වූ පසුව පොරොන්දු ඉටුකිරීමට නිසි කාලයක් ඊට ලබාදිය යුතුයි. නමුත් සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවා ගැනීමට දායක නොවූ සරණාගත පිරිසක් සම්මුතිවාදී ආණ්ඩුවට ඇතුළුවී 2015 ජාතික වැඩපිළිවෙළට අකුල් හෙළුවා. ඒ ක්‍රියාදාමය නිසා ආණ්ඩුව අඩපණ කිරීමේ ප්‍රතිවිපාක තමයි පළාත් සභා ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ. සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීමට ලේඛනගත කළ මෛත්‍රිපාල සිරිසේන මහතාගේත්, එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් අන්තර්ගත වැඩපිළිවෙළ වහාම ක්‍රියාවට නංවන්න කියලා අපි බලකර සිටිනවා.

සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම සඳහා සරණාගත පිරිස් වෙනුවට සැබෑ සම්මුතිවාදී ආණ්ඩුවක් ඉදිරියට ගෙන යෑම සඳහා කණ්ඩායම හදාගෙන මෙතෙක් ඉටු කිරීමට නොහැකි වූ කරුණු ඉටු කිරීමට දැන් අවස්ථාව එළැඹී තිබෙනවා.

මේ අතර තවත් පිරිසක් මාධ්‍ය සන්දර්ශන පවත්වමින් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය දඩමීමා කරගෙන ආණ්ඩු පෙරළන්න උත්සාහ කරනවා. ඒත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉතාම බලගතු ආකාරයෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් කොට තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට නෛතික ප්‍රතිපාදනයක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ නැහැ. විශ්වාසභංගයක් ගෙන ඒම, අය වැය පරාජය කිරීම වැනි කාරණා තුළ පමණයි අගමැති ඉවත් කිරීමට හැකි වෙන්නේ.
ඒත් 19 වැනි සංශෝධනය උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බලපෑම් කරමින් යම්කිසි ප්‍රතිපාදන ලබා ගන්න සමහරු උත්සාහ කරනවා. එහෙත් මේ සම්මුතිවාදී ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට යන්න ඉඩ දෙන්න කියලා ජාතික විද්වත් සංසදය විදියට අපි බලකර සිටිනවා. ඒ වගේම සම්මුතිවාදී ආණ්ඩුවට එරෙහි වැඩපිළිවෙළ පරාජය කිරීමට භික්‍ෂුන් වහන්සේ සමඟ ජාතික විද්වත් සංසදය මූලිකත්වය දෙනවා.

සම්මුතිවාදී ආණ්ඩුව හදනකොටම පාර්ලිමේන්තුව බලගන්වන්න ඕන කියලා ප්‍රකාශ කළා. ඒ නිසා ව්‍යවස්ථාවට පහර ගහලා වැඩ කරන්න එපා කියලා අපි එහෙන් මෙහෙන් වෙට්ටු දමන පිරිසට කියනවා"

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන
"මගේ අදහස නම් සමස්ත ඡන්ද දායකයන් පැරැදී ඇති බවයි. පුංචි ඡන්දයේ වටිනාකම වැරැදි ලෙස අර්ථ නිරූපණය වෙලා. ගම හදන්න තිබෙන අවස්ථාව විකෘති කොට සමාජගත කොට තිබෙනවා.

දැන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍යයි. ඒ නිසාම පෞද්ගලික අංශයත් අකර්මණ්‍ය වෙනවා. මෙවැනි බොහෝ කරුණු නිසා ඡන්ද දායකයන් පරාජයට පත්වී ඇති බව හැඟෙනවා"

ජාතික විද්වත් සංසදයේ උප සභාපති මාලඹේ සීලරතන හිමි
"දූෂිතයෝ එක්ක ආණ්ඩු හදන්න හෝ මේ ආණ්ඩුව පෙරළන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. වත්මන් ආණ්ඩුව දූෂිතයන්ට දඬුවම් කරන්න ආණ්ඩුවට එකතු වූ සමහර ඩීල්කරුවන් ඉඩ දුන්නේ නෑ"

ජාතික විද්වත් සංසදයේ ජාතික සංවිධායක අඹන්වල ඥානාලෝක හිමි
"මේ ලංකාවේ ඔක්කොම තීරණ ගන්නේ කෙලී මහේන්ද්‍රන් කියලා සිරස හිතනවා. මාධ්‍ය සදාචාරය වනසන මේ ක්‍රියාවලිය අපි හෙළා දකිනවා"

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - සස්සඳ ලියනාරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon