කුසල්හාමිලා හදන්නේ බොරදියේ මාළු බාන්නයි

  👤  3941 readers have read this article !
By mawbima 2018-02-21

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සක්‍රිය බැරකම් කළමනාකරණය සඳහා වූ පනත් කෙටුම්පත මඟින් පාර්ලිමේන්තුව සතු මුදල් ක්‍රමය හැසිරවීමේ බලය අගමැතිවරයා වෙත උදුරා ගැනීමක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මෙම පනත බොරදියේ මාළු බෑමට සූදානම් වන අවස්ථාවක් හැටියට දකින බවත් පක්ෂ, පාට භේදයකින් තොරව පාර්ලිමේන්තුව තුළ මෙම පනත හකුළා ගැනීමට ආණ්ඩුවට බල කළ යුතු බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඊයේ (20දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම දිනෙක නොවූ විරූ මහා ඛේදවාචකයක් නිර්මාණය කරන පනත් කෙටුම්පතක් පෙරේදා (19දා) පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලැබුවා. ඒ තමයි සක්‍රිය බැරකම් කළමනාකරණය සඳහා වූ පනත් කෙටුම්පත. අපි දකින්නේ කුසල් හාමි බොරදියේ මාළු බාන්න සූදානම් වන අවස්ථාවක් හැටියට. බාගෙන කන්න තියෙන වළ ඉහගෙන කන්න උත්සාහ දරන අවස්ථාවක් මේ. තව විදියකට කියනවා නම් යන යකා කොරහත් බිඳගෙන යන්න හදන උත්සාහයක්. මක්නිසාදයත් මේ පනතේ හරය තමයි පාර්ලිමේන්තුව සතු මුදල් බලය උදුරාගැනීම මුදල් අමාත්‍යවරයා සතු මුදල් බලය උදුරාගෙන. ශ්‍රී ලංකා මහ බැංකුව අයත් වන විෂය භාර අගමැතිවරයා රජය නොපිය වූ ණයවලින් 10%ක ප්‍රමාණයක් තමන්ට අභිමත ආකාරයෙන් කැමැති තැනකින් කැමැති කොන්දේසිය යටතේ ලබාගැනීමටත් එසේ ලබාගැනීමෙන් යම් කිසි ප්‍රශ්නයක් ඇති වුවහොත් කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් පවරන්න බැරි වන ආකාරයටත් සකස් කළ පනතක් මෙය.

මේ පනතේ තුන්වැනි වගන්තියට අනුව සාමාන්‍යයෙන් සම්මත ලංකා ආණ්ඩුවට ණය ලබාගැනීමේ ක්‍රමවේදයෙන් බැහැරව එළියට ගන්න පුළුවන් නොපියවූ ණයවලින් 10%ක්, මේක යන්නේ අගමැතිවරයාට. එවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ කළමනාකරණ දෙපාර්තමේන්තුව අවශ්‍ය නැහැ. ණය ගන්න විට විශාල අර්බුදයකට මුහුණ දුන් වෙන්දේසි ක්‍රමයක් අවශ්‍ය නැහැ. ප්‍රයිවට් ප්ලේස්මන්ට් අවශ්‍ය නැහැ. මේ පනතේ හතර දෙක වගන්තියට අනුව, ණය ගැනීම මෙතෙක් සිදු කළේ මහ භාණ්ඩාගාරය විසින්. මෙතැනදී ඒ බලය ලබාගන්නවා ශ්‍රී ලංකා මහ බැංකු විෂය භාර අමාත්‍යවරයා වන අගමැතිවරයා විසිනි. පස්වැනි වගන්තියට අනුව විසර්ජන පනතේ විධිවිධාන අදාළ වීමෙන් නිදහස් වෙනවා. මේ විසර්ජන පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වුණා. එහි මොනවා තිබුණත් මේ පනතට අදාළ නොවන ආකාරයටයි සකස් කර තිබෙන්නේ ලංකාවේ පළමු වතාවට සම්මත වුණු අය - වැයක් නිෂ්ප්‍රභ කළ අවස්ථාවක් බවට පත් වෙනවා.

මේ පනතේ අපූරුතම වගන්තිය තමයි 9 වැනි වගන්තිය. ඒ තමයි සිවිල් හෝ අපරාධ නඩුවකට මේ පනත යටතේ යටත් වෙන්න බැහැ. බැඳුම්කර කොමිෂන් වගේ කොමිෂන් පත් කරන්න බැහැ. මේ පනතේ නිර්මාතෘවරයා හිටපු මහ බැංකු අධිපතිවරයා දැනට සිංගප්පූරුවට පැන ගොස් සිටින අධිකරණයට අත්‍යවශ්‍ය යැයි සිතාසි නිකුත් කර තිබෙන අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රමුඛ පිරිසයි. ඉතාම සූක්ෂ්ම ලෙස මෙතෙක් ලංකා ඉතිහාසයේ කිසිම රජයක් අයථා ලාභ ලැබීමට භාවිත නොකළ මූලයක් අයථා ලාභ ලැබීමට භාවිත කිරීමට සූදානම් වන පළමු අවස්ථාව මෙයයි. මේ පනත මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට අයිති සියලුම පක්ෂ නායකයන් විසින් මොනම ආකාරයකින්වත් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඉඩ නොදෙන බව වගකීමෙන් ප්‍රකාශ කරනවා.

එම නිසා ඒකාබද්ධ විපක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සියලු දෙනාගේ අස්සනින් යුත් ලිපියකින් රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාට දැනුම්දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තු ක්‍රමය සම්පූර්ණයෙන්ම බුල්ඩෝස් වෙනවා මේ පනත නිසා. මේ පනතේ තිබෙන වගන්ති හරහා පාර්ලිමේන්තුවට තිබෙන බලය සම්පූර්ණයෙන්ම අගමැතිවරයා උදුර ගන්නවා.

පක්ෂ, පාට භේදයකින් තොරව තමන්ට රටේ මුදල් ක්‍රමය ආරක්ෂා කරගැනීමට මහජනයා ලබාදුන් වගකීම ඉෂ්ට කරන්න නම් මේ පනත සම්පූර්ණයෙන් අකුළා ගන්නා ලෙසට බල කරන්න ඕන.
පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි
රට මේ වන විට දැවැන්ත මූල්‍ය අර්බුදයක පසුවන්නේ. පරණ කරත්තේ පරණ හරක් දෙන්නම ගැටගහලා මේ දුෂ්කර ආර්ථික ගමන යන්න බැහැ කියලා ඔප්පු කරලා ඉවරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්
සක්‍රිය බැරකම් කළමනාකරණය සඳහා වූ පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිර්මාණය කළ එකක්. එතුමාගේ වත්මන් තත්ත්වය කුමක්ද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලා ප්‍රකාශයක් ලබාදෙන ලෙස එතුමාට දෙවැනි වරටත් නියෝගයක් ලබාදීලා තිබෙනවා. පළමුවර දුන් නියෝගය එතුමා ඉතාමත් පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කළා.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාව පත් කරන විට අගමැතිවරයා ප්‍රකාශ කළා වගකීම භාරගන්නා බව. දැන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැතිවරයාගෙන් විමසිය යුතුයි. මහේන්ද්‍රන් මහතාව ගෙන්වා ගැනීමට ගන්නා පියවර කුමක්ද කියලා. මේ බැඳුම්කර හොරකම මුල සිටම සැලසුම් කළේ අගමැතිවරයායි. අර්ජුන මහේන්ද්‍රන් කියන්නේ මෙහි කොටසක් පමණයි. මෙවැනි දෙයක් වෙනත් රටක සිදු වුණා නම් අගමැතිවරුන් ඉල්ලා අස්වෙනවා.

ඉෂාරා සිල්වා
ඡායාරූප - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon