දවල්ට නොපෙනෙන - රෑට පෙනෙන ඇස් රෝගයකින් පෙළෙන දියණිය සමඟ දුක් විඳින බිසෝමැණිකා

  👤  4233 readers have read this article !
By mawbima 2018-02-21

උඩදුම්බර කළුගල උඩමාදම්පිටිය ගමේ පදිංචි එම්.එම්.ජී. බිසෝ මැණිකාගේ පවුලේ දෙවැනි දියණිය ලෙසින් දෙදහස්

එකේ දෙසැම්බර් මස විසි අට වැනි දින උඩදුම්බර ග්‍රාමීය රෝහලේදී මෙලොව එළිය දකින ආර්.ඒ.ඩී. ඉමාලි ජයන්ති මේ වනවිට 16 හැවිරිදි වියේ පසුවෙන පාසල් ශිෂ්‍යාවකි.
මේ සුරංගනාවිය රෝහලේ සිට නිවෙස බලා රැගෙන යන මවුපියන් සිහින මැව්වේ තමන්ගේ පුංචි කැදැල්ලට දෙවැනියකු ලෙසින් එක්වෙන පුංචි දියණිය තම පවුලේ උදවිය ගෙවන ජීවිතයෙන් ගොඩගෙන පවුලේ උදවියට හොඳ ජීවන ගමනකට අත්වැලක් ගෙන දේවි යැයි කියාය.

එහෙත් එම අසරණ මවුපියන්ගේ අපේක්‍ෂා සුනු විසුනු වී යන්නේ ඉමාලි ඉපදී මාසයක් ගතවීමත් සමඟය. සිඟිති දියණි ඉමාලිට වැලැඳුණු අක්‍ෂි රෝගයක් නිසා එම පවුලට කණකොකා හඬන්නට පටන් ගැනිණි. එම රෝගී තත්ත්වය ඉමාලි දියණිය පමණක් නොව ඇගේ මුළු පවුලම අගාධයට ඇද දැමීමට තරම් දරුණු වූ බව දැනෙන්නේ එම පවුලේ දුක්බර ජීවිත කතාව කියවීමෙනි.

මේ වනවිට ඒ සියල්ල සිදුවී හමාරය. ඉමාලිගේ දෛවය ඇයට ලබාදී ඇත්තේ දවල් කාලයේ හිරු එළියෙන් ආලෝකය නොදකින්නටත් රාත්‍රි කාලයේ අඳුර දෑස් හැර දැකීමට පමණි. එය ඉමාලිගේ පමණක් නොව ඇයගේ මුළු පවුලේම දිවි ගමනට දැඩි බාධකයක් වී තිබේ. මවගේත්, වැඩිමහල් සහෝදරියගේත් පමණක් රැකවරණය යටතේ දිවි ගෙවීමට අද ඉමාලි ජයන්තිට සිදුව ඇත්තේ ඇගේ පියා ඇයත්, මවත්, අක්කාත් අතහැර ගොස් සිටින හෙයිනි.

අධයාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවක වන ඉමාලි ජයන්තිට ඇත්තේද දිවයිනේ සෙසු අනෙකුත් දරුවන්ට ඇතිවා මෙන්ම අපේක්‍ෂාවන් ගොන්නකි. එහෙත් ඒ අපේක්‍ෂා ඉටු කර ගැනීම ඇයට සිහිනයක් පමණක් බව ඉමාලිගේ මව වන බිසෝමැණිකා මහත්මිය පවසන්නේ දෙනෙතට නැඟෙන කඳුළු බින්දු ඇගේ ඇඟිලි තුඩුවලින් පිස දමමිනි.

එම්.එම්.ජී. බිසෝමැණිකා මහත්මිය තම දියණිය පිළිබඳව මෙසේ පැවසුවාය.
''මට දුවලා දෙන්නෙක් සිටිනවා. ලොකු දුව ඉඳුනිල්, දෙවැනියා තමයි ඉමාලි ජයන්ති. ඉමාලි ඉපදිලා මාසයක් යනකොට ඇයට ඇස් රෝගයක් වැලැඳුණා. එයට හේතුව අපි දන්නේ නෑ. දුවගේ ඇස් රෝගයට අපි රජයේ රෝහල්වලින් වගේම ආයුර්වේද ප්‍රතිකාරත් කළා. නමුත් දුවගේ රෝගය සුව වුණේ නෑ. දුවට දහවල් කාලයේ ඇස් අරින්න අපහසුයි. ඒ නිසා තනියම එහේ මෙහේ යන්නත් අපහසුයි. සවස 6න් පස්සේ තමයි දුවගේ ඇස් පෙනීම තියෙන්නේ. ඒ නිසා දුවට තනියම වැඩක් පළක් කරගන්න බෑ. කාගේ හරි උදව්වක් ඕන වෙනවා. මමවත් දුවලාගේ තාත්තාවත් ස්ථීර රැකියාවක් ඒ දවස්වල කළේ නෑ. අපිට වෙනත් කිසිම ආදායම් මාර්ගයක් ඇත්තෙත් නෑ.

දුවට අධ්‍යාපනය ලබා දෙන්න මට ඕන වුණා. ඒ නිසා දුවව ගමේ පාසලට ඇතුළු කළා. දුව අරගෙන මම පාසලට ගිහිල්ලා පාසල ඇරෙනකම් ඉඳලා නැවත දුව අරගෙන ගෙදර එනවා. දුව පාසලේ ඉන්න වේලාවේ මම කාගේ හෝ වැඩක් පළක් කරලා කීයක් හරි හොයා ගන්නවා. මේ අතරේ මීට අවුරුදු හතකට විතර ඉස්සර දරුවන්ගේ තාත්තා අපි දාලා ගියා. දරුවන් දෙන්නාගේ බර මගේ කරට වැටුණා. ඉන් පස්සේ මම මගේ දරුවන් දෙන්නා ඉතා අමාරුවෙන් තමයි ජීවත් කරවන්නේ. දැන්නම් ලොකු දුව ඇඟලුම් කම්හලක වැඩට යනවා. එයාට ලැබෙන පඩිය පවුලේ වියදමට තියා එයාගේ වියදමටවත් මදි.

දුව ගෙදර තනි කරලා මට හරියට කුලියකටවත් යන්න බෑ. මේ පළාතේ එහෙම කුලී වැඩ ඇත්තෙත් නෑ. ඉඳහිට ලැබෙන කුලියක් කරලා ගන්න මුදලින් සහ සමෘද්ධි දීමනාවෙන් තමයි අපි වේලක් හැර වේලක් කාල ජීවත් වෙන්නේ. ඉමාලි දුව සාමාන්‍ය පෙළ විභාගය ලිව්වා. තවම ප්‍රතිඵල ආවේ නෑ. එයා විභාගයට පෙනී සිටියට පාස් වෙන එකක් නෑ. ඒ මොකද කීවොත් දරුවාට හරියට පාඩම් කරන්නවත් ඉගෙන ගන්නවත් බැරි වුණා. මගේ අහිසංක දරුවටත් අනෙක් දරුවන්ට වගේම සිහින ගොඩක් තියෙනවා. ඒත් ඒ සිහින, සිහින පමණක් කියලත් අපි දන්නවා. මොනවා කරන්නද අපි ලබා උපන් හැටි කියලා හිතාගෙන අපි තුන්දෙනා ජීවත් වෙනවා. මේ ළඟදී දුව පරීක්‍ෂා කරපු ‍ෙදාස්තර මහත්තයෙක් කීවා දුවට කණ්ණාඩියක් පාවිච්චි කරනවා නම් හොඳයි කියලා. ඒ කණ්ණාඩියක් රුපියල් 15,000ක් (පහළොස් දහසක්) පමණ වෙනවා කිව්වා. ඉතින් අපිට කොහෙන්ද ඒ තරම් සල්ලියක්. කණ්ණාඩියක් ගන්න වැඩේ අතහැරලා දැම්මා. කාගේ හරි උපකාරයක් තියෙනවා නම් මගේ දුවගේ ඒ සිහිනයවත් සැබෑ කරගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.

අනෙක තමයි අසරණ වෙලා සිටින අපිට ජීවත් වෙන්න මාර්ගයක් සකස් කරලා දෙන්න පුළුවන් නම් හොඳයි. මහන මැෂිමක් තියෙනවා නම් මට ගමේ අයගේ ඇඳුම් මහලා කීයක් හරි සොයා ගන්න පුළුවන්. ඒකට මගේ ඉමාලි දුවටත් උදවු කරන්න පුළුවන් වේවි. ඒ වාගේම ඒ මහන මැෂිමෙන් ඉගෙන ගෙන එයාටත් තනියම ඇඳුම් මහන්නත් පුළුවන් වේවි. එහෙම වෙනවා නම් අනුන්ට අත පාන්නේ නැතිව මටත්, මගේ අසරණ දරුවාටත් ජීවන ගමන ගෙන යන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අතමිට සරුවුණොත් මගේ දුවගේ සමහර සිහින සැබෑ කරගන්නත් පුළුවන් වෙයි. මම අහලා තියෙනවා අපි වාගේ නැති බැරි අසරණ අයට උදවු උපකාර කරන පින්වන්ත පරිත්‍යාගශීලී මහත්වරු නෝනලා අපේ රටේ ඉන්නවා කියලා. අනේ පත්තරෙන්වත් ඒ උත්තමයෝ අපේ දුක බලලා අපිට පිහිටක් වෙනවා නම් කොච්චර හොඳද? අපිට උදවු කරන්න කියලාත් මම එහෙම පරිත්‍යාගශීලී අයගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා" යැයි පැවසුවාය.

මේ දියණියට සහ පවුලේ අයට මේ උපකාරයක් කිරීමට කැමැති යම් පරිත්‍යාගශීලී ආයතනයක් හෝ කෙනකු සිටී නම් 077-9531460 යන දුරකතනයට ඇමැතීමෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකිවෙනු ඇත.

හසලක - සුනිල් ඉහළගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon