හංවැල්ලේ යක්ෂ මොන්ටිසෝරි ගුරුතුමියක්

  👤  4069 readers have read this article !
By mawbima 2018-02-20

හංවැල්ල, වග ප්‍රදේශයේ පෙරපාසලකට යන තම දියණිය දිවා ආහාරයට කඩල කෑම ප්‍රතික්‍ෂේප කළැයි පෙරපාසල් ගුරුතුමිය විසින් කළුවර කාමරයක සිර කර තබා අමානුෂික ලෙස පහර දීම නිසාවෙන් තුවාල ලැබූ තම දියණිය පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කළ බව පහර කෑමට ලක් වූ පෙරපාසල් දියණියගේ මව විසින් හංවැල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇතැයි පොලිසිය පැවැසීය.

මෙම පහරදීම හේතුවෙන් තම දියණිය වන හිමිදි හිරණ්‍යා මෙන්ඩිස්ගේ (4) කන තුවාල වී ඇති බවත්, පාදයේ තැළුම් පහරවල් දකින්නට හැකි බවත් කළුවර කාමරයක සිර කර තැබීම නිසාවෙන් බියට පත්වී දියණිය පෙරපාසල් යෑම ප්‍රතික්‍ෂේප කරන බවත් හංවැල්ල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය පැවැසීය.
මේ සම්බන්ධයෙන් අප එම දියණියගේ මව වන හංවැල්ල, වග, පින්නවල පදිංචි ඉෂාරා ගයනි (24) මහත්මියගෙන් කළ විමසීමකදී මෙසේ පැවැසුවාය.

"අපේ ගමේ තියෙන මේ පෙරපාසලට දුව වසරකට වැඩි කාලයක සිට යනවා. ඇය ඉකුත් සිකුරාදා දින පෙරපාසලේ දිවා ආහාරය සඳහා රැගෙන ගියේ කඩල තම්බලයි. එහිදී දුව එම කඩල කෑම ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. පසුව පෙරපාසලේ මුල් ගුරුතුමිය විසින් දියණියට කඩල කන ලෙස බල කර තිබෙනවා. ඇය ඒ අවස්ථාවේදීද කඩල ආහාරයට ගෙන නොමැති බැවින් ගුරුතුමිය විසින් අමානුෂික ලෙස දුවගේ කනට සහ පාදයට පහරදී කළුවර කාමරයකට දමා සිර කර තබා තැබූ බවත් පෙරපාසල් යන්නට නොහැකි බවත් දුව මා එක්ක කිව්වා. පසුව අපි ඇයව පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කළා. ඇය තවමත් එහි ප්‍රතිකාර ලබනවා. මේ සම්බන්ධයෙන් අපි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියටත්, හංවැල්ල පොලිසියටත් පැමිණිලි කර තිබෙනවා"

හංවැල්ල පොලිසියේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී පැවසුවේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම කැඳවා පැමිණිල්ල විභාග කර තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍ය නම් අදාළ නීතිමය කටයුතු ඉදිරියේදී සිදු කරන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon