ශ්‍රීලනිප-එජාප ගැටුම නිසා ආණ්ඩුවට ඉදිරියට යන්න බැහැ

  👤  4102 readers have read this article !
By mawbima 2018-02-20

වත්මන් ආණ්ඩුව මෙහෙයවන්නේ අන්ත දෙකක දේශපාලන පක්ෂ දෙකක් වන අතර එම පක්ෂ දෙකෙහි ප්‍රතිවිරෝධතා ඇති විය හැති බවත් එම ප්‍රතිවිරෝධතා ප්‍රතිඝට්ටනයක් දක්වා වර්ධනය වුවහොත් ආණ්ඩුවේ බරපතළ අර්බුද ඇතිවිය හැකි බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර පවසයි.
වත්මන් දේශපාලනය සූදු පිටියක් බවට පත්ව ඇති අතර දේශපාලනය සූදුවක් බවට පත්වුවහොත් ජනතාවට අත්වන ප්‍රතිලාභයක් නොමැති බවත් ගජධීර මහතා කියා සිටියේය.

ඊයේ (19දා) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ගජධීර මහතා මේ බව පැවැසීය.
හෙතෙම මෙසේද කීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇතිවුණේ ගම් පෙරළියක්. එම පෙරළිය ඇති කළේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසයි. අද රටේ දේශපාලන අර්බුදයක් ඇති වී තිබෙනවා. යූ.එන්.පී.යට තනිව ගමනක් යෑමේ ප්‍රශ්නය මතු වී තිබෙනවා. ශ්‍රී ලනිපයටත් එසේමයි. ගණිත ගැටලුවකුයි මතු වී තිබෙන්නේ. එක පැත්තක් වැඩිවුණොත් එක පැත්තකට අවාසි වෙනවා.

කුමන ආණ්ඩුවක් ආවත් මේ ඇති වී තිබෙන සමාජ ප්‍රශ්නවලට උත්තර සොයන්න බැහැ. ඇයි ඒ දැන් තිබෙන ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් සමඟ ඒ ප්‍රශ්නවලට උත්තර නැහැ. මේ ආණ්ඩුව කිව්වේ ලිච්ඡවි පාලනයක් රටේ ඇති කරනවා කියලායි. නමුත් අපට ඒ පාලනය පෙනුණේ ඒකාධිපති ස්වරූපයකිනුයි. ආණ්ඩුවේ පරාජයට ඒවා බලපෑවා.

එය පොදුජන පෙරමුණේ විජයග්‍රහණයට බලපෑවා. යහපාලන ආණ්ඩුව දුන්නු ප්‍රතිඥා එකක්වත් ඉෂ්ට වුණේ නැහැ. සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් තිබුණේ නැහැ. නමුත් ඔවුන්ට සුළු ජාතීන් අත්‍යවශ්‍යයි ආණ්ඩුවක් පිහිටුවන්න. රට අරාජිකත්වයට යන්න නොදී ජනතාවගේ අයිතීන් අප සුරක්ෂිත කළ යුතුයි. දැන් ආයුධ භාවිත නොකර රටවල තිබෙන සම්පත් පැහැරගන්නවා. ඒවා කරන්නේ ගිවිසුම් මඟින්. අපිට ගැළපෙන ආර්ථික මොඩලයක් අප හදාගත යුතුයි. පැරැදුණු නායකයෝ කවුරුවත් ස්වයං විවේචනයක් කරගෙන නැහැ.

මහාචාර්ය තිස්ස විතාරණ
අද රටේ ආර්ථික වාතාවරණය මෙන්ම දේශපාලන වාතාවරණයත් වෙනස් වෙලා. පෙබරවාරි 10 වැනිදා තිබ්බේ ජනමත විචාරණයක් වැනි මැතිවරණයක්. එක්සත් ජාතික පක්ෂයේ නායකයා පවා පැවැසුවේ මේ ප්‍රතිඵලයෙන් අපි පාඩමක් ඉගෙන ගත යුතුයි කියලායි. මෙම ඡන්ද ප්‍රතිඵලය අඩු තක්සේරු කරන්න බැහැ. දේශපාලන සුනාමියක් ආවා වගෙයි පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේ. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් අලුත් ගමනක් යෑමටයි අපි සූදානම් වෙන්නේ.
රට නැවත දේශ හිතෛෂී ගමනකට පරිවර්තනය කිරීමට නම් නව ලිබරල් ආර්ථික ක්‍රියාවලිය නවතා දැමිය යුතුයි. වත්මන් ආණ්ඩුව ගෙන යන නව ලිබරල් ආර්ථිකය ප්‍රතික්ෂේප කිරීමටයි පෙබරවාරි 10 වැනිදා ජනතාව ඡන්දය දුන්නේ. රනිල් වික්‍රමසිංහව ධුරයෙන් පහ කිරීමට නම් ඔහුට විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි. නැත්නම් අය - වැය පරාද කළ යුතුයි.

රාජා කොල්ලුරේ මහතා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි ඉදිරි දේශපාලන කටයුතුවල ජනප්‍රියම සාධකය වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතාව දේශපාලනයෙන් ඉවත් කරන්න හැදුවත් ඔහු මේ මැතිවරණයේ ප්‍රධාන සාධකය බවට පත්වුණා.

ගලගම ධම්මරංසි හිමි
ජනාධිපතිතුමා ජනමතයට ගරු කළ යුතුයි. අපි ජනාධිපතිට කියනවා කොන්ද කෙළින් තියාගෙන අධිරාජ්‍යාවාදීන්ට හිස නවන්නේ නැතිව මේ යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුව පිළිබඳ තීරණයක් ගන්න කියලා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායා - අශාන් ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon