එජාප විරෝධී ආණ්ඩුවකට විපක්‍ෂයේ ඉඳන් උදවු කරනවා

  👤  4120 readers have read this article !
By mawbima 2018-02-20

මේ ජන බලය හමුවේ මේ ආණ්ඩුවේ කිසිදු නායකයකුට හැංගෙන්න බැහැ. මේ යථාර්ථය තේරුම් ගත යුතු වෙනවා. අපි කියන්නේ මේ ජනතා තීන්දුවට හිස නවන්න. පාර්ලිමේන්තුව ඇතුළේ හිස නවන්න. ඉදිරි සතිය ඇතුළතදී මේ මතය ගොඩනැඟේ කියලා අපි හිතනවා. ඒකාබද්ධ විපක්‍ෂය මොනම හේතුවක් නිසාවත් කිසිම ආණ්ඩුවක පාර්ශ්වකරුවකු වෙන්න සූදානම් නෑ. තමුන්නාන්සේලා දීපු ජනමතය ඇමැතිකමක, රාජ්‍ය ඇමැතිකමක, නියෝජ්‍ය ඇමැතිකමකට ලඝු කරන්න, හෑල්ලු කරන්න, වෙන්දේසි කරන්න අපි ඉඩ තියන්නේ නැති බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජාතික සංවිධායක ඩලස් අහලප්පෙරුම මහතා පැවැසීය.
සංවිධායකවරයා මේ අදහස් පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් මැතිවරණ ජයග්‍රහණය නිමිති කරගෙන කඹුරුපිටිය නගරයේ පැවති පිළිගැනීමේ උත්සවයට එක් වෙමිනි.

මන්ත්‍රීවරයා මෙසේද කීය.
"යූ.එන්.පී. විරෝධී ආණ්ඩුවක් හදනවා නම්, පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න පාර්ශ්වකරුවන් නොවී කටයුතු කරන්න අපි සූදානම්. හැබැයි ආණ්ඩුවේ හවුල්කාරයන් බවට පත් නොවී. මේ සතිය මුළු රටටම තීරණාත්මක සතියක්. දවස් හයක් වෙනවා මැතිවරණ තියලා. මේ ආණ්ඩුවේ නායකයන්ට බල කරලා කියනවා, ඇස් ඇරලා බලන්න, මේ දවස් ටිකේම මුළු රටම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටිලා තියෙන්නේ. රුපියල අවප්‍රමාණය වෙලා. අද ඩොලර් එක එකසිය පනස් හත දක්වා ඉහළ ගිහිල්ලා තියෙන්නේ. සුරැකුම්පත්වල ආයෝජනය කරපු විදේශිකයන් ඉන් ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා. සියලුම ආයෝජකයන් මේ රටේ ආයෝජනය කරන්න බැරි බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම දේශපාලන අස්ථාවර භාවයක් රටේ ඇති වෙලා. මේ මොහොතේ මේ ආණ්ඩුවේ නායකයන්ගේ මූලික යුතුකම වන්නේ මේ දේශපාලන අස්ථාවර භාවයෙන් රට ගලවා ගන්න එක. මේ විදියට කල් යවමින් සිදු කරන්නේ මේ රටේ ආණ්ඩුව අනාගතය එක්ක සෙල්ලම් කිරීමක්. ඉදිරි පැය හතළිස් 48 ඇතුළේ ස්ථාවර රටක් පිළිබඳව ප්‍රවෘත්තිය කොතැනින් හෝ නිකුත් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒ වෙනුවෙන් ඕනෑම කැපවීමක් කරන්න සූදානම්.

එ.ජා.ප.ය කියන්නේ තනි යූ.එන්.පී. ආණ්ඩුවක් හදනවා කියලා. ඒ මහ බැංකුව හොරකම් කරපු හොරුන්ගේ ආණ්ඩුවක්. එය කොල්ලකරුවන්ගේ ආණ්ඩුවක්. මේ අවස්ථාවේදී ආණ්ඩුව ආත්මාර්ථකාමී නොවී ජනතාවගේ පැත්තෙන් හිතලා තීන්දුවක් ගත යුතුයි. මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ මේ ආණ්ඩුව වෙනස් කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි, ඒකාබද්ධෙ මිනිසුන්ට පිස්සු කියලා කිව්වා. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ රටේ ගොඩනැඟිලා තියෙන්නේ ආණ්ඩුව ගෙදර යන්න ඕනේ කියන මතය. දැන් කාටද පිස්සු කියලා තේරෙනවා ඇති. අපි ඉල්ලුවේ මේ මැතිවරණයෙන් විපක්‍ෂයේ අයිතිය. අපි කිව්වේ මැතිවරණයේදී මහින්ද මහත්තයා අගමැති කරන්න කියලා. වෙන කෙනෙක් පත් කරන්න අස්සන් ගහන එක ශීලාචාර වැඩක් කියලා අපි හිතන්නේ නෑ. යූ.එන්.පී. එකෙන් එන අනතුරේදී ශ්‍රී ල.නි.ප.ය ආරක්‍ෂා කරන්න කියලා තමයි අපි පොරොන්දු වුණේ.

ඉදිරි මාස හය තුළ පළාත් සභා මැතිවරණ හයක් පැමිණීමට නියමිතයි. මැයි මාසයට කලින් උතුරු මැද, සබරගමුව, නැඟෙනහිර මැතිවරණ තියන්න ඕන. සැප්තැම්බර්වලට කලින් උතුර, වයඹ, මධ්‍යම මැතිවරණ තියන්න ඕන. කරුණාකරලා ඒ මැතිවරණ තියන්න. මේ මැතිවරණ ලැබුණේ අවුරුදු දෙකහමාරකට පස්සේ. අපිට මැතිවරණයට හොඳ අපේක්‍ෂකයන් ඉන්නවා. ඒ වෙලාවට අපි ඉදිරිපත් කරන්නම්".

තිහගොඩ _ කැලුම් පලොල්පිටිය, මාතර _ උදය කුමාර රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon