බලයට පෙරේත කවුද කියලා අද හෙළි වෙලා

  👤  4125 readers have read this article !
By mawbima 2018-02-20

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය හරහා ජනතාව ආණ්ඩුව කෙරෙහි තිබූ මහා ජාතික ආවේගය පිට කළායින් පසුව ආණ්ඩුවේ නායකයන් පරණ තාලෙට ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට උත්සාහ කිරීමෙන් රට තවත් අවුලෙන් අවුලට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමට ඇති බලය අහෝසි කර ඇති බවත් එමඟින් බල පෙරේතයන් කවුදැයි අද හොඳින් පෙනෙන්න තිබෙන බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
පළමු වතාවට පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මඟින් රටේ ආණ්ඩුවේ අස්ථාවරත්වයක් ඇති කරලා තිබෙනවා. 80%කට වැඩිය මිනිස්සු ඡන්දය දාන්න ආවේ විශාල ප්‍රතිශතයක් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරමින් පොහොට්ටුවට ඡන්දය ලබාදුන්නේ ආණ්ඩුවට එරෙහිව තිබෙන මහා ජාතික ආවේගය පිට කිරීමක් හැටියට. ආවේගය පිට කළාට පසුව ආණ්ඩුව හිතනවා නම් පරණ තාලෙට අටෝගෙන යන්න පුළුවන් කියලා එයින් සිදුවන්නේ මේ රට තවත් අවුලෙන් අවුලට පත්වීමයි. සිරිසේන ජනාධිපතිවරයාට ඒකාබද්ධ විපක්‍ෂය හැටියට අපි බොහොම පැහැදිලිව ප්‍රකාශයට පත් කළා, ඔබතුමාට එ.ජා.ප. ආණ්ඩුව ගෙදර යවන්න වුවමනාවක් තිබෙනවා නම් අපි විපක්‍ෂයේ ඉඳගෙන කොන්දේසි සහිතව සහාය දෙන්නම් කියලා. නමුත් අද බොහොම පැහැදිලිව පේනවා අපි බොහොම සද්භාවයෙන් ඉදිරිපත් කළ ආරාධනාව නිවැරැදිව දකින්නේ නැතුව තවදුරටත් එ.ජා.ප. ආණ්ඩුවක් පවත්වාගෙන යන්න කටයුතු කරන්න යන බව. ජනතාව එ.ජා.ප. ආණ්ඩුවක් ඉල්ලනවා නම් මැතිවරණයේ මෙහෙම ප්‍රතිඵලයක් දෙන්නේ නැහැ. එහෙම නම් ඡන්දයෙන් පසුව පත්තරවල ආව සිතියමේ පාට කොළ වෙන්න ඕන. නමුත් කුරහන් පාටයි සිතියමේ තිබුණේ. එයින් පැහැදිලි වෙනවා රටේ ජනතාව කාවද ඉල්ලන්නේ කියලා.

එදා මහින්ද රාජපක්‍ෂ මහතා 18 වැනි සංශෝධනය ගෙනැල්ලා සදාකල් බලයේ ඉන්න හදනවා කියපු සිවිල් සංවිධානවල මහත්වරුන්ගේ ආශීර්වාදය මැද පැමිණි 19 වැනි සංශෝධනයෙන් අගමැතිවරයාව පන්නන්න බැරි කරලා තිබෙනවා. ජනාධිපති ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් අහන්න යනවා අගමැතිව පන්නන්න පුළුවන්ද කියලා. බල පෙරේතයෝ කවුද කියලා අද පෙනෙන්න තියෙනවා. මුකුත්ම නොකර රට දිනෙන් දින අස්ථාවර කරනවා. රට බේරගන්න උත්සාහ කරන්නේ නැතුව මේ ජෝඩුව එහෙට මෙහෙට වෙවී ඉන්නවා.

අනෙක් අතට ආර්. සම්පන්දන් මහතාට විපක්‍ෂ නායක පුටුවේ ඉන්න අයිතියක් නැහැ. නීතිය අනුව බැලුවොත් විපක්‍ෂ නායක පුටුව හිමිවන්න ඕන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටයි.
ආණ්ඩුවට හිතන්න තියෙන්නේ අතුගෑවිලා යනවද නැතිනම් මේ විදියට ෂේප් එකේ යනවාද කියලයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දු කළ බවට සන්ධානයේ මහ ලේකම්වරයාගේ සහ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් නිවේදන නිකුත් කර ඇති බව මාධ්‍ය අනාවරණය කළා. එම ප්‍රකාශවලට අනුව සන්ධානය මේ මොහොතේ බල රහිතයි. සන්ධානය ගිවිසුම්ගත වුණේ අවුරුදු දෙකකට. 2015 අගෝස්තු 21. නමුත් ආණ්ඩුවේ නායකයන් ප්‍රකාශ කළා මේ ආණ්ඩුව දෙසැම්බර් 31 දක්වා වලංගු වන බව. දැන් පෙබරවාරි 19 වැනිදා මාසයකුත් දවස් 19ක් කල් ඉකුත් වූ ආණ්ඩුවක් බවට ආණ්ඩුව පත්වෙලා. මෙහි දේශපාලන ප්‍රශ්නයකට වැඩිය තිබෙනවා බරපතළ ව්‍යවස්ථාමය ප්‍රශ්නයක්.

පළාත් පාලන ආයතන 340න් නව පනතට අනුව පැමිණි නියෝජිත සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩිය කිසියම් පක්‍ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට අයත් වන්නේ නම් පමණයි එහි සභාපතිවරයා හෝ උප සභාපතිවරයා නම් කළ හැක්කේ. මේ තත්ත්වය නිර්මාණය වුණේ මේ ආණ්ඩුව කඩිමුඩියේ සම්මත කරගත් පනත නිසයි. අපි පළාත් පාලන ආයතන 232ක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඉන් පළාත් පාලන ආයතන 153ක බලය පිහිටුවීමේ කිසිම ගැටලුවක් මතුවන්නේ නැහැ. අනෙක් ආයතන 79 හිම බලය පිහිටුවීමේදී ගැටලු මතුවෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර,
2015 ආණ්ඩුවට ලැබුණු ජනවරම මේ වන විට අහෝසි වී තිබෙනවා. පරම ජනතා බලයත්, විධායක බලයත් එකට හැප්පෙන්න පටන්ගෙන තිබෙනවා. ආණ්ඩුවට කරන්න තියෙන්නේ ඉතාමත් ඉක්මනින් මහා මැතිවරණයක් කැඳවීමයි. දේශපාලන අර්ථයෙන් මේක හැර වෙන දෙයක් කියන්න බැහැ. ජනවරම අහිමිවුණු ආණ්ඩුවක් නීතියේ කොක්කේ එල්ලිලා පාලන බලය ගෙනියන්න හිතනවා නම් එය ඉතාමත් තාවකාලික උත්සාහයක් පමණයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම,

අපි මීට පෙරත් කිව්වා ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සහාය දෙන්නම් කියලා. ඉන් පසුව දැන් අපිට කියනවා තනතුරු භාරගන්න කියලා. නමුත් අපිට තනතුරු භාරගන්න කිසිම අයිතියක් නැහැ.
මට තියෙන කනගාටුව තමයි අපිව මේ තත්ත්වයට ගෙන ආව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ වන විට නැත්තට නැතිවේගෙන යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැති කරන්න කටයුතු කළ සහාය දුන් සියලු දෙනාටම ශාප වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල
ආණ්ඩුවක් නැතුව රැස්වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය වෙලා තිබෙනවා. ව්‍යවස්ථාව අනුව මේ වන විට රටේ අගමැති කෙනෙක් නැත. ඇමැති කෙනෙක් නැත. ආණ්ඩුවක් නැත.

තවමත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරුන් 2015 ජනවාරි 08 වැනිදා ලැබුණු ජනවරම ගැන නන් ‍ෙදාඩවනවා. ජනවාරි 08 වැනිදා ‍ෙදාවාගත් කිරි හට්ටියේ කල් ඉකුත් වීම තිබෙන්නේ 2019 නොවැම්බර් මාසය කියලයි. හැබැයි 2018 පෙබරවාරි වන විට මේ කිරි හට්ටියේ ඕජස් ගලනවා නම් පණුවෝ ගහලා නම් කවුරුවත් මේකේ කල් ඉකුත්වීමේ දිනය තවත් තිබෙනවා කියලා කියන්නේ නැහැ.

අද එ.ජා.ප.යට එ.ජා.ප. මන්ත්‍රි කණ්ඩායම්වලට සිදුවෙලා තිබෙන්නේ පූසාගේ කරේ මිණිගෙඩිය බඳින්න ගිය මී රැළට සිදුවූ දෙය.

ඉෂාරා සිල්වා
ඡායාරූප - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon