දරු දෙදෙනා නිවෙසේ තනිකර ගිය කත යළිත් රක්ෂිතයට

  👤  4188 readers have read this article !
By mawbima 2018-02-20

දමුණුපොළ - චමින්ද ජයලත්

සැමියාගේ රහස් ප්‍රදේශයට මෝල්ගසෙන් පහරදී ඝාතනය කර සිය දරු දෙදෙනාද නිවෙසේ දමා ගිය කාන්තාවට ඇප ලබාදීමට නියම කළද ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නොවීමෙන් තවදුරටත් මාර්තු මස 5දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා ඊයේ (19දා) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කෑගල්ල පොලිස් වසමේ බෙලිගල, හරන්කහව පදිංචි 49 හැවිරිදි දෙදරු මවකි. මෙම කාන්තාවගේ පළමු විවාහක සැමියා මිය යෑමෙන් පසු වෙනත් අයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඔහුගේ ඉදිවෙමින් තිබූ නිවෙසට සැකකාරිය පැමිණ තිබිණි. මෙම කාන්තාවට සෑම දිනකම පුරුෂයා මත්පැන් පානය කර නිවෙසට පැමිණ පහරදී ඇත.

2016 මැයි 19දා රාත්‍රි අධිකව බීමත්ව නිවෙසට පැමිණි සැමියා යළිත් වරක් සැකකාරියට පහරදී ඉදිවෙමින් තිබූ නිවෙසේ නින්දට ගොස් ඇත. පසුව බිරිය නිවෙසේ තිබූ මෝල්ගසෙන් සිය පුරුෂයාගේ රහස් ප්‍රදේශයට පහරදී ඝාතනය කර පිරිමි දරු දෙදෙනාද නිවෙසේ දමා රාත්‍රියේම කෑගල්ල රන්දෙණිය ප්‍රදේශයේ පදිංචි සහෝදරයකුගේ නිවෙසකට ගොස් තිබිණි.
පසුව සිය පියාගේ මෘත දේහය අසල දින 5ක් දිවා රෑ කෙසෙල් ගෙඩි කමින් හා ළිඳෙන් වතුර පානය කරමින් දරු දෙදෙනා ජීවත්ව සිට ඇත.
ඝාතනය කර දින 5කට පසු මැයි 24දා අසල මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට අදාළ නිවෙසෙන් එන දුගඳ ඉවසා ගත නොහැකිව සොයා බැලීමේදී බෙහෙවින් නරක් වී තිබූ පිරිමි මළ සිරුරක් හා දරු දෙදෙනා දැක කෑගල්ල පොලිසියට දන්වා තිබිණි. කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා අදාළ නිවෙසට ගොස් මූලික පරීක්ෂණ

සිදුකර වැඩිදුර පරීක්ෂණ සඳහා මෘත දේහය කෑගල්ල මහ රෝහල වෙත යැවීමට කටයුතු කර ඇත. කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා කියා සිටියේ මොට ආයුධයකින් රහස් ප්‍රදේශයට වැදුණු තියුණු පහරවල් හේතුවෙන් මරණය සිදුව ඇති බවය.
ඉන් අනතුරුව සැකකාරිය රන්දෙණිය ප්‍රදේශයේ වැඩිමහල් සහෝදරයකුගේ නිවෙසේ සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. සැකකාරියට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමට හැකි බව නියෝග කර සිටියත් ඇයට ඇප ලබාදීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඊයේ (19දා) තවදුරටත් මාර්තු මස 5දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

කෑගල්ල මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එන්.ඒ. කරුණාරත්න සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon