විමල් වීරවංශට එරෙහි නඩුවේ ලේඛන අල්ලස් කොමිසම මහාධිකරණයට බාර දෙයි

  👤  4219 readers have read this article !
By mawbima 2018-02-20

කේ.එස්. උදයකුමාර්

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අවධියේ සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට ආසන්න වටිනාකමකින් යුත් මුදල් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා ලබා සිටින හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ නඩු භාණ්ඩ ලෙස නම්කර තිබෙන ලේඛන අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණයට භාර දුන්නේය.
එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ ඊයේ (19දා) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය විසින් නඩු භාණ්ඩ වශයෙන් නම්කර ඇති ලේඛන ගොනුව අධිකරණයට සහ විත්ති පාර්ශ්වය වෙත භාරදෙන ලදී.

ඊට අමතරව මෙම නඩුවට අදාළව පරිගණක සාක්ෂි කිහිපයක් මෙහෙයවීමට අපේක්ෂා කරන බව කී අල්ලස් කොමිසමේ නීතිඥවරිය එම සාක්ෂි පිළිඳව දැනුම් දීමේ නොතීසි අද දින (20දා) අධිකරණය හමුවේ ගොනුකිරීමට පියවර ගන්නා බවද දැනුම් දුන්නාය.
පැමිණිල්ලේ ඉල්ලීම පරිදි පරිගණක සාක්ෂි මෙහෙයවීමට අදාළ නොතීසිය අධිකරණය හමුවේ ගොනු කිරීමට අවසර දුන් මහාධිකරණ විනිසුරු කළුආරච්චි මහතා එම නොතීසිය විත්ති පාර්ශ්වය වෙත ලබා දිය යුතු යැයිද අල්ලස් කොමිසමට නියෝග කළේය.

මෙහිදී විත්තිකාර විමල් වීරවංශ මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ ලේඛන විත්තිය වෙත නිසි පරිදි ලැබී තිබේද යන්න පරීක්ෂා කර අධිකරණය දැනුවත් කිරීම සඳහා මෙම නඩුව වෙනත් දිනයක කැඳවන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නඩුව නැවත ලබන මැයි මස 16 වැනිදා කැඳවීමට නියම කළ අතර එදින නඩුව විභාග කරන දිනය නියම කරන බවද විවෘත අධිකරණයේ සඳහන් කළේය.


2010 වසරේ ජනවාරි මස 01 වැනිදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යනුකූල ආදායම අබිබවා අයථා ලෙස රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් හා මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon