දෙපක්ෂයේ වාද විවාදවලින් මැති සබය උණුසුම් වෙයි

  👤  4073 readers have read this article !
By mawbima 2018-02-20

පාර්ලිමේන්තුව දෙසට බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබූ අවස්ථාවක ඊයේ (19දා) පාර්ලිමේන්තුව රැස්වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.
2018 පළාත් පාලන මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව රැස්වූ පළමු දිනය ඊයේ නිසා යම් විශේෂත්වයක් තිබුණද ඊටත් වඩා බොහෝ දෙනකුගේ අවධානය යොමුවී තිබුණේ පවතින දේශපාලන අර්බුදය විසඳී නොමැති තත්ත්වයක් තුළදී පාර්ලිමේන්තුව රැස්වීමයි.
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව මතුවූ දේශපාලන අර්බුදය පිළිබඳව පසුගිය දින කිහිපය තුළදී දිවා - රාත්‍රි දෙකේම ස්ථාන රැසක සාකච්ඡා සිදුවිය.

පාර්ලිමේන්තුව ආරම්භ වීමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකු හා ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු කිහිප දෙනකු අතර උස් හ¾ඩින් කතාබහක් සිදුවිය.

"ආණ්ඩුවක් හදනවාද" පී. හැරිසන් අමාත්‍යවරයා උස් හ¾ඩින් විමසා සිටියේය.
"ඔව්, හදනවා" ඊට ප්‍රතිචාර දැක්වූයේ ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර මහතාය.
"ගමේ ඡන්දයෙන් දිනුවේ, ගමේ ඡන්දේ දිනලා වැඩක් නැහැ. එහෙම කරලා ආණ්ඩු පෙරළන්න පුළුවන්ද? යනුවෙන් විමසා සිටියේ තලතා අතුකෝරල අමාත්‍යවරියයි.
"ජනතාව ආණ්ඩුවේ කනට ගහලා තියෙන්නේ. දැන් ඉතින් ගෙදර යන්න" යනුවෙන් ඊට වහාම ප්‍රතිචාර දැක්වූයේ ඒකාබද්ධ විපක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර මහතායි.

පාර්ලිමේන්තුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී විනාඩි දෙක තුනක් යන විට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මැතිසබයට පැමිණියේය.
පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වන විට බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා දෙසටයි.
මෙසේ පාර්ලිමේන්තුව ඊයේ දින ආරම්භ වන විටම ඊට සමගාමීව තවත් විශේෂ වැදගත් සාකච්ඡාවක් තවත් ස්ථානයක සිදුවිය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. එම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර අමාත්‍යවරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු පිරිසක් මෙම සාකච්ඡාවට පැමිණ සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැඳී සිටිනවාද? රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර වෙනත් අග්‍රාමාත්‍යවරයකු පත්කර නව ආණ්ඩුවක් ගොඩනඟනවාද? යන කරුණු ගැන මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගනිමින් තිබිණි.
නමුත් එම සාකච්ඡාව එසේ සිදුවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයේ අසුන්වලට වී සිටිනු දක්නට ලැබීම විශේෂත්වයකි.
මහින්ද සමරසිංහ, විජිත් විජිතමුනි සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි යන අමාත්‍යවරුන් හා නිශාන්ත මුතුහෙට්ටිගම, පියසේන ගමගේ යන නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් එසේ සිටිනු දක්නට ලැබිණි.

පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මෙසේ සිදු වෙමින් සිටියදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා මතුකරන ලද රීති ප්‍රශ්නයක් සමඟම මැති සබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවෙන්නට විය.

"ස්ථාවර නියෝග 17 යටතේ රටේ වැදගත්කමකින් යුතු ප්‍රශ්නයක් මතු කිරීමට තිබෙනවා. රට ආරාජික වෙලා තියෙනවා. මේ ගැන දැන්ම විවාදයක් අවශ්‍යයි. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නැඟිටලා මේ ගැන විවාදයක් ඉල්ලා සිටිනවා" යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රකාශ කරනවාත් සමඟම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 40ක් පමණ නැඟී සිටියහ.

මෙහිදී නැඟී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කියා සිටියේ එවැනි යෝජනාවක් කලින් ඉදිරිපත් කළ යුතු බවයි.
මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදු වූ අතර කතානායක කරු ජයසූරිය මහතා විනාඩි 15කට සභාව අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කළේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැති සබයට පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකු සමඟය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තම අදහස් හුවමාරුවක් සිදු කරගත්තද එය පැහැදිලි නොවීය. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන නිසා මේ අවස්ථාවේදී ආණ්ඩුවක් පැවතීමට හැකියාවක් නොමැති බවයි.

ඒ ගැන තමාට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බව කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
"මේ පත්තරවල තියෙන ඒවා කියවනවා. ඕව කිව්වට වැඩක් නැහැ. මේ ආණ්ඩුව තියෙනවා" සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවේ විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා දැඩි උණුසුම් වචන හුවමාරුවක නිරත වූහ.

මෙම වාදයට ආණ්ඩු පක්ෂයෙන්, විපක්ෂයෙන් ජනතා නියෝජිතයන් එක්වී විවිධ අදහස් දැක්වූ අතර ඉන් අනතුරුව නැඟී සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.
"ගරු කතානායකතුමනි දැන් රීති ප්‍රශ්නයක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා මතුකළා. එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදීලා ඉවරද" යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබාදෙන බව කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
මේ සමඟම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් කෑගසමින් ඒකාබද්ධ විපක්ෂයෙන් විමසුවේ "ඇයි බය වෙලාද?" කියායි.
"අපි බය නැහැ. අපි ඕන දේකට ඔට්ටුයි" යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට ප්‍රතිචාර දැක්වීය.
රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා තම ආසනයෙන් නැඟිට ගොස් එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලිත් සමරවික්‍රම අමාත්‍යවරයා සමඟ යම් කතාබහක් සිදුකළේය. ඉන් අනතුරුව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට කතා කළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එම පිරිස සමඟ මැති සබයෙන් පිටත්වූයේ යම් සාකච්ඡාවක් සඳහාය.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැති සබයෙන් ඉවත් වී විරුද්ධ පක්ෂයේ ආලින්දය වෙත පැමිණ එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයේ ආලින්දයේ සිට පිටතට පැමිණෙන විට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් දුටුවේය.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර ඇතුළු කිහිපදෙනකු විනාඩි කිහිපයක් තිස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කතාබස් කරනු දක්නට ලැබිණි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ දිවා ආහාරය ලබාගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටත්ව යෑමට පැමිණියේය.
රටේ අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ඊයේ කල්තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විට පාර්ලිමේන්තුවේ ඇතිවූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි.
මෙහිදී විමල් වීරවංශ මන්ත්‍රිවරයා සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතර ඇතිවූයේ දැඩි උණුසුම්කාරී වචන හුවමාරුවකි.
"හොරා, අනේ නාවෝ, දත් ‍ෙදාස්තරයා," යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා චෝදනා කළේය.

"ර්ණී/ඹ් පාස් නැති මිනිහෙක් කෑගහනවා. රජයේ මුදල්වලින් ඥාතියකුගේ මංගල සාදයක් පැවැත්වූවා. හොරා" යනුවෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා චෝදනා කළේය.
"මේ චෝදනා බොරු. හෙට වෙනකොට මේවා ඔප්පු කළොත් මං හෙට දේශපාලනයෙන් සමුගන්නවා" යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රතිචාර දැක්වීය.
ඉන්පසුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතර ඇතිවූයේ දැඩි උණුසුම්කාරී වචන හුවමාරුවකි.
මෙම කල් තබාගැනීමේ අවස්ථාවේ විවාදයේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා සහ ‍ෙදාස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතර දැඩි උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදුවිය.

"ඔයා හැමතැනටම පැනලා තවත් පැන පැන යනවා" යනුවෙන් වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
"ජාතිවාදය වපුරලා මෙතන කෑගහන්න එපා" ‍ෙදාස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවැසීය.
ඉන් අනතුරුව වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා ප්‍රතිචාර දැක්වූයේ ආණ්ඩුව වෙතටය.
"රාජිත සේනාරත්න ඇමැතිතුමා කරපු ප්‍රකාශයකට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා හොඳ උත්තරයක් දුන්නා. ඇවිල්ලා කටේම අතුල්ලලා ගියා. දැන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ඒ ගොඩට දාගන්නවා. ඒක හරියට නෝනා පිටගිය කාලෙත් මාත් එක්ක හිටියා වගේ කතාවක්" යනුවෙන් වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා කළ ප්‍රකාශයට සියල්ලෝම සිනාසුණහ.


විවාදයට එක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවට හොරගල් අහුලමින් ක්‍රියා කළ නිසා ආණ්ඩුවට මෙම ඡන්ද ප්‍රතිඵල ලැබුණු බවයි.
පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මුණගැසුණේය.

"මං ඔයා හෙව්වා" මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
"එහෙනම් තේ එකක් බිබී කතා කරමු" කියපු අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සමඟ තේ බොන්නට ගියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon