කැලිඩෝ වෙරළේ දූපතක කොටු වුණු දුර්ලභ කළු වඳුරන් 5ක් බේරා ගෙන

  👤  4151 readers have read this article !
By mawbima 2018-02-20

සපුමල් ජයසේන

මාස අටක පමණ කාලයක් කළුතර කැලිඩෝ වෙරළ තීරයේ පිහිටි දූපතක කොටු වී සිටි දුර්ලභ කළු වඳුරු විශේෂයක සතුන් පස්දෙනකු වනජීවී නිලධාරීන් විසින් පෙරේදා (18දා) මුදා ගන්නා ලදී.

ලෝකයේ වේගයෙන්ම වඳ වී යන වඳුරු විශේෂයකට අයත් මේ සතුන් පස්දෙනා මුදාගන්නා විට දරුණු ආහාර හිඟයකට මුහුණදෙමින් දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසු වූ බවත් වඳුරන් මුදා නොගත්තේ නම් උන් මිය යෑමට ඉඩ තිබූ බවත් වනජීවී නිලධාරීහු සඳහන් කරති.
පසුගිය වසරේ මහ ගංවතුර ඇති වූ අවස්ථාවේ කළු ගඟේ ජලය කඩිනමින් බැස යෑම සඳහා ගංමෝයට අමතරව තවත් මෝය කටක් කැලිඩෝ වෙරළ තීරයෙහි බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කපා තිබුණේ කළුතර දිස්ත්‍රික් ලේකම්වරියගේ උපදෙස් මතයි.

මෝය කට කැපීමෙන් අනතුරුව වෙරළ දරුණු ලෙස ඛාදනය වී ගං මෝයකට දෙකට මැදිව කිලෝමීටරයක පමණ දිගකින් යුත් දූපතක් නිර්මාණය විය. අමතර මෝයකට සකසන අවස්ථාවේදී කිරළ ගෙඩි කෑමට වෙරළ තීරයට ගොස් සිටි කළු වඳුරන් පස් දෙනකු අලුතින් නිර්මාණය වූ දූපතෙහි කොටු වී සිට තිබේ.
ගතවූ මාස අටක පමණ කාලයේ කිරළ ගෙඩි ආහාරයට ගනිමින් සිටි කළු වඳුරන් පස්දෙනාව බෝට්ටු මඟින් එහි ගොස් නිර්වින්දනය කොට අල්ලා රක්ෂිතයකට මුදාහරින ලද්දේ බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ වනජීවී පශු වෛද්‍ය සුහද ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon