අර්ජුන මහේන්ද්‍රන් යළිත් මේ රටේ පස් පාගන එකක් නැහැ

  👤  4401 readers have read this article !
By mawbima 2018-02-20

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

මෙරටින් කොල්ලකා ගත් ධනයෙන් අසීමිත ලෙස සැප විඳිමින් නිදැල්ලේ හැසිරෙන අර්ජුන මහේන්ද්‍රන් යළි මෙරට පස් පෑගීමට නොඑන බව විශ්වාස යැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටිපොළ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මෙසේද සඳහන් කළේය.
අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරවාරි 15 වැනි දිනට පෙර සී.අයි.ඩී. එකට පැමිණ ප්‍රකාශයක් කරන්න කීවා. නමුත් අද වන තෙක් ඔහු ආවේ නැහැ. අප හොඳින්ම දන්නවා එතුමා එන්නේ නැහැ. කිසිසේත් මේ ලංකා පොළොවේ පස් පාගන්න ආයෙ අර්ජුන මහේන්ද්‍රන් එන්නේ නැහැ. එයා මෙරටට පැමිණි විගසම ගුවන් තොටුපොළේදී එයාට මාංචු දාන බව දන්නවා.

අර්ජුන මහේන්ද්‍රන් පත් කරන වෙලාවේදී කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධයක් මතු වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කීවා කවුරුත් මේ සඳහා කලබල විය යුතු නැහැ. මම ඔහු පිළිබඳව පෞද්ගලිකවම වගකීම භාර ගන්නවා කියලා. අර්ජුන මහේන්ද්‍රන් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන විට එයා සඳහන් කළා රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා පැය විසිහතරකට පසුව අර්ජුන මහේන්ද්‍රන්ට ඩුබායි සිට දුරකතන ඇමතුමක් ලබා දීලා මහ බැංකුවේ අධිපතිකම භාර ගන්න කියලා පැවැසුවා කියලා. ඇමැතිවරු පත් කරන්නත් පෙර අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න කල්පනා කළා. ඒ නිසා ඉන් පෙනෙනවා මෙය සැලසුම් සහගතව සිදුකළ මහා කොල්ලයක් කියලා. අද අපි අහනවා ඒ වගකීම දැන් අගමැතිවරයා භාරගන්නවාද කියලා. මේ රටේ මහ බැංකුව කොල්ල කාලා භාණ්ඩාගාරය හිස් කරලා අසීමිත ධනයක් අපේ ජාතියට අහිමි කළ මේ පුද්ගලයා අද නිදැල්ලේ ඉන්නවා. මේ රටින් කොල්ල කා ගත් ධනය භුක්ති විඳිමින් ඔහු අද පිටරට ජීවත් වෙනවා. දැන් අගමැතිවරයා මොනවාද කරන්නේ කියන ප්‍රශ්නය අපි අගමැතිවරයාගෙන් අහනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon