“මට ගොඩක් අමාරුයි මහත්තයෝ” කියලා නෝනා මට කිව්වා

  👤  4784 readers have read this article !
By mawbima 2018-02-20

"අද ඉඳලා මමයි දරුවෝ හතර දෙනයි මේ ලෝකයේ තනිවෙනවා. අපිට සිදුවූ මේ අවාසනාවන්ත සිදුවීම කිසිම කෙනකුට වෙන්න එපා. මගේ එකම පැතුම එයයි. මමයි දරුවෝ හතර දෙනයි දැන් මේ ලෝකේ තනිවෙලා ඉවරයි. මට සිදුවූ විපත සදාකාලිකයි". යැයි මියගිය රෝහිණී කුමාරි අතපත්තු මහත්මියගේ ස්වාමියා වන තිලකරත්න අබේසිංහ මහතා පවසා සිටී. රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය හම්බන්තොට සුචි ජාතික පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ අතර, පසුගිය 17 වැනිදා සවස කුරුණෑගල, වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ නායකත්ව පුහුණු වැඩසටහන අතරතුර කඹයක් කැඩී යෑමෙන් බිමට වැටී මොළයේ අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් මියගොස් ඇත.

වැඩිදුරටත් තිලකරත්න අබේසිංහ මහතා මෙසේද පැවැසීය. අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලැබුණු දැනුම්දීමකට අනුව මගේ නෝනා පසුගිය 16 වැනිදා පාන්දරම කුරුණෑගල වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ නායකත්ව පුහුණු වැඩසටහනක් සඳහා සහභාගි වෙන්න ගියා. 17 වැනිදා සවස 07ට විතර වීරකැටියේ සිංගප්පූරු පාසලේ විදුහල්පතිනිය මට කතා කරලා කිව්වා නෝනා හදිසි අනතුරකට ලක්වුණා කියලා. මම එකවරම ඇහුවා නෝනට කතා කරන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ නෝනා මට කිව්වා "මහත්තයා මට ගොඩක් අමාරුයි කියලා" මම එයාට බුදුසරණයි කිව්වා. පස්සේ මට දැනගන්න ලැබුණා කුරුණෑගල රෝහලේ සිට කොළඹ මහා රෝහලට රැගෙන යන අතරතුර මියගිය බව. හමුදා පුහුණුවට සමාන පුහුණුවක් මේ ගුරුවරියන් හට ලබාදීමේදී විධිමත් ආරක්‍ෂිත පියවරක් අනුගමනය කළ යුතුව තිබුණා. නමුත් එවන් කිසිදු ආරක්‍ෂිත පියවරක් ගෙන නොතිබුණු බවයි මෙයින් පෙනී යන්නේ. තිලකරත්න මහතා තම කතාව අවසන් කළේ තම බිරියට වූ අසාධාරණය මින්පසු කිසිවකුටත් නොවේවා යන චේතනාව සිත්හි දරාගෙනය.

සුචි ජාතික පාසලේ විදුහල්පතිනිය වූ රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය මියයන විට වයස අවුරුදු 53ක්වූ අතර ඇය දූවරුන් සිවුදෙනකුගේ සෙනෙහෙබර මවකි. සෙනෙහෙබර බිරියක්ව නිවෙසෙහි කටයුතු කරගෙන ගිය ඇය දරුවන් දහස් ගණනකට අධ්‍යාපනය ලබාදුන් ගුරුවරියකි. බෙලිඅත්ත දෙද්දුවාවල ප්‍රදේශයේ පදිංචිව සිටි අතපත්තු මහත්මිය විද්‍යා ගුරුවරියක ලෙස 1987 වර්ෂයේ බෙලිඅත්ත දෙද්දුවාවල කනිෂ්ඨ විද්‍යාලයේ සේවයට එක්වී තිබේ. පසුව 1991 නොවැම්බර් 22 දින විවාහ පත්වීමෙන් පසු අම්බලන්තොට ප්‍රදේශයට පැමිණෙන ඇය එතැන් සිට අම්බලන්තොට බැරගම ජනපද විද්‍යාලයේ විද්‍යා ගුරුවරියක ලෙස සේවය කර තිබේ. පසුව 2008 වර්ෂය වන විට හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයේ ශේ‍ර්ණිධාරි ගුරුවරියක් ලෙස සේවය කරන රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය 2011 වර්ෂයේදී හම්බන්තොට සුචි ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවයට එක්වී තිබේ. 2013 වර්ෂයේ සිට මිය යන තෙක් ඇය එම විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කර තිබේ.
තම මෑණියන්ගේ වියෝවෙන් වැලපෙන වැඩිමහල් දියණිය මධුෂිකා (24)

අම්මයි අපියි මේ ගෙදර ජීවත් වුණේ යාළුවෝ වගේ. එයා අපිට ගොඩක් ආදරෙයි. එයා කොහෙහරි ගියත් අපිට නිතරම කතා කරනවා. මම ආපසු ඉරිදට එනවා කියලා ගෙදරින් ගියපු අම්මා සදහටම අපිව දාල යන්න ගියා.

සුචි ජාතික පාසලේ ශිෂ්‍යාවක වන සචිනි මලිසා
ඇත්තටම අපේ මැඩම් අපිට සැලකුවේ එයාගෙම දරුවන්ට වගේ. අපේ හැම කටයුත්තක් ගැනම හොඳින් හොයා බැලුවා. අපට අහිමි වුණේ හොඳ විදුහල්පතිනියක් පමණක්ම නොව පාසලේ දරුවන් හට හොඳ අම්මා කෙනෙක්.

සුචි ජාතික පාසලේ ආචාර්යවරයකු වන පූජ්‍ය මොලොග්ගමුවේ ධම්මදින්න හිමි
මියගිය අපේ විදුහල්පතිනිය ඇත්තටම මේ පාසලට ගොඩක් ආදරය කරපු කෙනෙක්. ළමයින්ගේ අධ්‍යාපනය සංවර්ධනය වගේම පාසලේ සංවර්ධනය ගැනත් ඇය ගොඩක් වෙහෙසුණා. ගුරුවරුන්ට තම කටයුතු කරගෙන යන්න මනා සවියක් ලබා දෙමින් කටයුතු කළ කෙනෙක්. ඇය තුළ දරුවන් කෙරෙහි පැවැතියේ පුදුමාකාර දයාවක්. වැරැද්දක් කළ විට දරුවන් එයින් මුදා ගන්න ඉතා ළෙන්ගතුව කටයුතු කිරීමට ඔවුන් වෙත පිවිසුණා. ඒ වගේම ඇය දක්ෂ ගුරු මාතාවක්. මෙවැනි ජීවිත අවදානම් ක්‍රියාවක් නිසා අද වන විට දරුවන්ට ඇය අහිමි වෙලා තියෙනවා. මෙවැනි පුහුණු ලබා දෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ වයස් සීමාව වගේම එහි ආරක්ෂාව ගැනද නිසි අයුරින් සොයා බැලිය යුතුයි.

සුචි ජාතික පාසලේ ක්‍රීඩා භාර ආචාර්යවරයා වන ලීලානන්ද කුමාරසිරි
වෙනත් පාසල් තුළ නැති විදුහල්පති ගුරු සම්බන්ධතාවන් අපේ පාසලේ තිබුණා. විදුහල්පතිනියගේ අඩුපාඩුවක් තිබුණත් එය පෙන්නලා දෙන්න පුළුවන්කම අපිටත් තිබුණා. මීට අවුරුදු 10කට පෙර ළමයින් 280ක් වැනි සුළු දෙනෙකුගෙන් ආරම්භ කළ මේ පාසලේ දැන් ළමයින් 1200කට වැඩි පිරිසක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ සඳහා අපේ විදුහල්පතිනිය කළ මෙහෙය අපිරිමිතයි.

මම ක්‍රීඩා ගුරුවරයෙක් ලෙස දකින දෙයක් තමයි මෙවැනි පුහුණුවක් මේ වැනි වයසේ අයට ගැළපෙන්නේ නැති බව. සම්මතයම පිළිගන්න දෙයක් මේක. මෙය අනිවාර්ය කරලද කියල දන්නේ නෑ. නමුත් මෙවැනි ත්‍රාස ක්‍රියාකාරකම් මේ අයට ගැළපෙන්නේ නෑ. එහි අතුරු ප්‍රතිඵලයක් තමයි මේ. ඒ එක්කම එවැනි ස්ථාන තුළ කොතරම් ආරක්ෂාවක් තිබෙනවාද යන්න නිසි අයුරින් සොයා බැලිය යුතුයි. මොකද මේ අනතුර තරුණ කෙනකුට සිදු වුවත් මිය යන්න පුළුවන්.

ගුරුවරියක් වන මාලා කාන්ති විජේසිංහ
අපි දෙන්නා පුංචිකාලේ ඉඳල එකට ඉගෙන ගත්තේ. මට අපේ ගමේ ස්කෝලේ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. රෝහිණීට එයාගේ ගමේ පාසලේ උගන්වන්න අවස්ථාව ලැබුණා. ඇය තුළ එදා සිටම තිබූ උත්සාහයේ ප්‍රතිඵලයක් නිසා තමයි මෙවැනි ජාතික පාසලක විදුහල්පතිනිය වීමට පවා ඇයට හැකි වුණේ. මෙවැනි නායකත්ව පුහුණු විදුහල්පතිවරුන් හට ඕන කියල මම කිසිසේත්ම හිතන්නේ නෑ. මොකද රෝහිණී විශ්‍රාම ගන්න තව තිබුණේ වසර තුනක පමණ කාලයක්. මේ වන තෙක් ජීවිතේ ඇය කළේ දරුවන් දස දහස් ගණනකට නායකත්වයක් දරපු එක තමයි. මේ කෙටි කාලයට ඇයට හමුදාව වගේ ඉහළ ස්ථානයන් කළ පුහුණුවක් වැඩක්ම නැහැ. දරුවන් හතර දෙනකුටම පමණක් නොව තවත් දරුවන් දහස් ගණනකට සෙනෙහෙබර ගුරු මෑණි කෙනකු වූ හම්බන්තොට සුචි ජාතික පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ රෝහිණී කුමාරි අතපත්තු මහත්මියගේ අවසන් කටයුතු 19 වැනිදා සවස අම්බලන්තොට හතර ඇළ නිවෙසේ පවුලේ සුසාන භූමියේදී සිදුකරනු ලැබීය.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon