15න් පහළ කිරුළ ගේට්වේ ඇතුළට ගනිද්දී 19න් පහළ ශූරතාව රාජකීය පෙරහරින් ගෙනයයි

  👤  3086 readers have read this article !
By mawbima 2018-02-19

ගමිත දෙහිපිටිය

මෙරට තුළ පැසිපන්දු ක්‍රීඩාව ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරිකරගෙන ප්‍රථම වතාවට පාසල් අතර මහා තරගයක් සේ පැවැත්වුණු "අලස් - ගුණසේකර කුසලාන" වාර්ෂික පැසිපන්දු තරගයේදී ලකුණු 46-43ක තියුණු ජයක් හිමි කරගත් කොළඹ රාජකීය විදුහල අලස්-ගුණසේකර කුසලානය දිනා ගැනීමට සමත් විය.

පසුගියදා (17දා) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මාවතේ එච්.එස්.සී පැසිපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ රාජකීය විදුහල් කණ්ඩායම පළමු කාර්තුව නිමා වන විට ලකුණු 18-11ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වූ අතර දෙවැනි කාර්තුවේදී නැවතත් තරගයට අවතීර්ණ වුණු ගේට්වේ පැසිපන්දු කණ්ඩායම ලකුණු ලකුණු 15-12ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් විය. නැවතත් තුන්වැනි කාර්තුවේදී සිය සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ රාජකීය විදුහල් කණ්ඩායම ලකුණු 10-8ක් ලෙස ඉදිරියෙන් සිටිමින් එම කාර්තුව නිමා කළේය. කෙසේ වෙතත් තරගයේ හතරවැනි හා අවසන් කාර්තුවේදී ඉතා තියුණු තරගයක් ලබාදුන් ගේට්වේ ක්‍රීඩකයන් ලකුණු 9-6ක් ලෙස ඉදිරියෙන් සිටිමින් තරගය නිමා කළ ද අවසානයේ වට දෙක බැගින් දෙපිලම ජයගත්තද මුළු ලකුණු 46-43ක් ලෙස තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.

මේ අතර "අලස් - ගුණසේකර කුසලාන" වාර්ෂික පැසිපන්දු තරගයට සමගාමීව ගේට්වේ විදුහල් වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමත් කොළඹ බිෂොප් විදුහල් වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමත් අතර පැවැති ආරාධිත බාලිකා පැසිපන්දු තරගයෙන් ලකුණු 27-14ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ගේට්වේ විදුහල් වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම සමත් විය. තවද ගේට්වේ විදුහල් වයස අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායමත් කොළඹ රාජකීය විදුහල් වයස අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායමත් අතර පැවැති තරගයෙන් රාජකීය විදුහල් කණ්ඩායම පරදවා ලකුණු 60-37ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ගේට්වේ විදුහල් කණ්ඩායම සමත් විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගේට්වේ විද්‍යාලයේ
කළමනාකාර අධ්‍යක්ෂ රෝහිණී අලස් මහත්මියද, විශේෂ ආරාධිත අමුත්තා ලෙස ඕස්ට්‍රේලියා මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ආසියානු කලාපීය කළමනාකරු ජැක් ජොන්ස්ටන් මහතාද, ගේට්වේ විදුහලේ සභාපති වෛද්‍ය හර්ෂ අලස් මහතා, රාජකීය විදුහලේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ද සහභාගි විය.

අභාවප්‍රාප්ත ආර්. අයි. ටී. අලස් මැතිඳුන් හා ඊ. ක්‍රිස්ටි ගුණසේකර මහතා ඉහත පාසල් සඳහා සිදුකරන ලද සේවය ඇගැයීම වෙනුවෙන් මෙම තරගය 'අලස් - ගුණසේකර' කුසලානය යනුවෙන් නම් කර ඇත. ආර්. අයි. ටී. අලස් මැතිඳුන් වසර 10ක් රාජකීය විදුහලේ ගුරුවරයකු ලෙසද සේවය කොට ඩී.එස්. සේනානායක විදුහලේ නිර්මාතෘවරයා ලෙස සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයකු ලෙස මහඟු සේවයක් ඉටුකර ඇති අතර, ගේට්වේ විදුහලේ නිර්මාතෘවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ බිහි වූ අග්‍රගණ්‍ය අධ්‍යාපනඥයකු ලෙසද ප්‍රචලිතය. නැසී ගිය ඊ. ක්‍රිස්ටි ගුණසේකර මහතා රාජකීය විදුහලේ අධ්‍යාපනය ලබා උප විදුහල්පතිවරයකු ලෙස දිගු කලක් එම විද්‍යාලයේ සේවය කොට පාසල් දරුවන්ගේ විනය හා තත්ත්වය ඉහළ නැංවීමට මහඟු සේවයක් ඉටුකළ අයෙකි. තවද එතුමා ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනයේ සභාපති ධුරයද දරා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon