හතුරුසිංහගේ අඩි පාරේ ගිය අපේ සිංහයෝ් කප් තුනම රැගෙන එති

  👤  3279 readers have read this article !
By mawbima 2018-02-19

බංග්ලාදේශයට එරෙහිව කණ්ඩායමක් ලබා ගත් දෙවැනි වැඩිම විස්සයි-20 ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ශ්‍රී ලංකාව ඊයේ පැවැති 2 වැනි විස්සයි-20 තරගයෙන්ද ලකුණු 75ක ජයක් ලබා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට විස්සයි - 20 තරගාවලියෙන්ද 2-0 පරාජයක් හිමි කර දුන් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට්, එක් දින සහ විස්සයි-20 යන තරගාවලි තුනෙන්ම අපරාජිතව ගෙදර ඒමට හැකියාව ලැබුණේ නව පුහුණුකරු හතුරුසිංහ යටතේ කණ්ඩායම පෙන්වූ තුන් ඉරියව් දක්‍ෂතා නිසාමය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කට ලබා ගත් 210ක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ ලකුණු 135කට දැවී යෑම නිසා ශ්‍රී ලංකාව හමුවේ ඊයේ 7 වැනි විස්සේ තරග පරාජය සටහන් කළ අතර කුසල්, ධනුෂ්ක, තිසර, තරංග සහ ශානකගේ වේගවත් පිතිහරඹයත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සහාය දෙමින් දැක්වූ පන්දු රැකීමත් අනගි ජයග්‍රහණයට පාදක විය. බංග්ලාදේශ් ඉනිමේ 2 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී අකිල ධනංජය ඉදිරියේ සාර්කාර් දැවී යෑමත් සමඟ කඩාවැටුණ ඉනිම ගොඩ ගන්නට කිසිවකුට නොහැකි වූ අතර 4 වැනි කඩුල්ල වෙනුවෙන් නායක මහමුදුල්ලා සහ තමීම් එක්කළ ලකුණු 37ත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් නායකයා (41) සහ සයිෆුඩීන් තැබූ ලකුණු 42ක සබඳතාවත් හැර වෙනත් පිතිකරුවකුට සාර්ථක වන්නට ඊයේ මංගල විස්සේ වරම් ලැබූ අමිල අපෝන්සු ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

ඊයේ සිලෙට් ක්‍රීඩාංගණයේදී තම ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගි වූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක මහමදුල්ලා කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිලට පන්දුවට පහරදීමට කළ ආරාධනයෙන් පසුව කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරු යුගලය ලකුණු 98ක සබඳතාවක් ගොඩනඟා සිටියදී 11 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව යැවූ සවුම්යා සාර්කාර්ගේ පන්දුවට ලෝන් ඕෆ්හි සිටි තමීම් ඉක්බාල් අතට උඩපන්දුවක් දීමෙන් පන්දු 37කදී ලකුණු 42ක් ලබා සිටි ගුණතිලක දැවී ගියේය. ඒ අතරතුර ලකුණු 15 සහ 28දී ගුණතිලක මෙන්ම ලකුණු 8ක් ලබා සිටියදී කුසල් දුන් උඩපන්දු බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් අත්හරින ලද අතර ගුණතිලක දැවී යෑමෙන් පසුව කුසල්ට එක් වූ තිසර පෙරේරා මුළු ලකුණු 149 දක්වා ගෙන ගියේය.

පන්දු 17කින් ලකුණු 31 ලබා සිටි තිසර ඊයේ මංගල විස්සයි-20 තරගයට ක්‍රීඩා කළ අබු ජයෙඩ් හමුවේ 16 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේදී දැවී යෑමෙන් පසුව පන්දු 42කින් ලකුණු 70ක් ලබා නොකඩවා තම 2 වැනි විස්සේ අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 160ක් විය. පසුව තරංගට එක්වූ දසුන් ශානක දෙදෙනා 4 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19කින් ලකුණු 45ක සබඳතාවක් ගොඩනඟා සිටියදී පන්දු 13කින් ලකුණු 25ක් ලබා සිටි තරංග සයිෆුඩීන් යැවූ ඉනිමේ අවසන් පන්දුවාරයේ 4 වැනි පන්දුවට දැවී ගිය අතර ශානක පන්දු 11කින් ලකුණු 30 ලබා සිටියේය. ඊයේ තම 50 වැනි විස්සයි-20 තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා නායක චන්දිමාල් මුහුණ දුන් එකම පන්දුවෙන් ලකුණු 2ක් ලබා නොදැවී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon