විජය ඝාතනය කළේ අදහස් ඝාතනයට මිස ශාරීරික ඝාතනයකින් සතුටු වීමට නොවේ

  👤  3297 readers have read this article !
By mawbima 2018-02-19

විජය කුමාරතුංග ඝාතනය කළ අය වසර ගණනක් ගත වූ පසු එම ඝාතනයට මුල් වූ සංකල්ප පිළිගන්නා තැනට පත්ව ඇති බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසයි.

කුමාරතුංග මහතා ඝාතනය කළේ ඔහුගේ අදහස් ඝාතනය කිරීමේ අරමුණින් මිසක ශාරීරික ඝාතනයකින් සතුටුවීමට නොවන බව අද වන විට ඉතා පැහැදිලිවම තේරුම් ගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමුණුගම මහතා මේ බව පැවැසුවේ දිවංගත විජය කුමාරතුංග මහතාගේ 30 වැනි ගුණ සැමරුමට සහභාගි වෙමිනි. එය පසුගියදා (15දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී දිවංගත විජය කුමාරතුංග මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු මහත්ම මහත්මීන් විසින් සිදු කරන ලදී.

අමාත්‍ය සරත් අමුණුගම,
මේක අපට අනුවේදනීය දිනයක්. එතුමාගේ ඝාතනය මා දකින්නෙ විකාරරූපි දෙයක් හැටියට. එතුමා ඝාතනය කළ අය වසර ගාණක් ගත වුණාට පසු ඒ ඝාතනයට මුල් වූ සංකල්ප පිළිගත්තා. 13 වැනි සංශෝධනය තමයි ඊට බලපෑවේ. අද අපි ඊට වඩා ගැඹුරු දෙයක් කතා කළ යුතුයි.

එතුමා ඝාතනය කළේ යම් කිසි අදහසක් ඝාතනය කිරීම අරමුණින්. ශාරීරික ඝාතනයකින් නෙවෙයි සතුටු වුණේ. ඉතාම අඳුරු මොහොතක විජය කුමාරතුංග මහතා තමයි ප්‍රදීපයක් එළියක් හැටියට කිව්වේ මෙරට සියලු දෙනා ජාති, ආගම්, කුල භේදයෙන් තොර රටක් බිහි කළ යුතුයි කියලා. හැමගේ උපන් හපන්කම් මල්ඵල ගන්වන්නට අපේ ජීවිත දුන්නත් ලොකු පරිත්‍යාගයක් නෙවේ කියලා එතුමා කිව්වා. ඒ සුන්දර, ශිෂ්ට අදහසක් වෙනුවෙන් ජීවිතය පුදන්න පුළුවන් අයටයි අනාගතයක් තියෙන්නේ කියලා විද්වතුන් කිව්වා.

එවැනි කලක උඩුගම් බලා පීනන්න බැරි වුණා නම් යම් කිසි දවසක ඒකට වටිනාකමක් එනවා. ඒ වටිනා පණිවුඩය සනාතනිකව දී තිබෙනවා. අවුරුදු 30ක් නෙවේ 300ක් ගියත් එය පවතිනවා.

නිදහසට පසු ලංකාවේ කොටස් 2ක් තිබුණා. එකක් කොම්ප්‍රදෝරු පන්තිය. 1956 බණ්ඩාරනායක මහතා දේශීය මැද පන්තියක් නිර්මාණය කළා. ඒ සාම්ප්‍රදායික ගැටුම තිබුණා. දේශීය මැද පන්තිය කොටස් 2ක් තිබුණා. එකක් පසුගාමී කොටස, ඒ තුළ තව කොටසක් හිටියා ප්‍රගතිශීලී ජාතික මැදපන්තියක්. එතැනදී නැවත අපට තිබුණු වාද විවාද අනුව මාක්ස්වාදයට යන්න වුණා. විජය ආ මතු මහලින් හැකි වුණා කලාත්මකව ලෝක දර්ශනය හා මනුස්සකම ඉදිරියට ගන්න.
හුඟක් අය හිතන්නෙ පහළ ව්‍යුහය පමණයි. මතු මහල ගැන හිතන්නෙ නෑ.
විශේ්ෂයෙන් ජාතිකවාදී මැද පන්තිය ප්‍රගතිශීලී තැනට ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට විජයගේ ක්‍රියාවලියෙන් අපට දැනගන්න ලැබුණා. එයට සංගීතයෙන්, සිනමාවෙන් ගත් අත්දැකීම් විශේෂ අභිලාෂයන් වුණා.

අපේ පත්තරවල බැලුවොත් තියෙන්න දුටුගැමුණු මොනවද කළේ වගේ තොරතුරු. නමුත් විජය වගේ අය ජනතාව ඉතා ඉහළ මඟකට ගන්න කටයුතු කළ බව පැහැදිලියි. සාධාරණ සමාජයක් හදන්න හැමගේ ආදරය තුළින් ඉදිරියට යන්නෙ කොහොමද කටයුතු කරන්නේ කියලා එතුමා කල්පනා කළා. මානව හිමිකම් සංකල්පයට වැඩිම බරක් යෙදුවා. ජීවිතයත් මරණයත් අතර සිටිද්දී යාපනයට ගිහින්, ප්‍රසිද්ධ රැස්වීමක් අමතලා හිතාගන්න බැරි වීර ක්‍රියාවක් කළා. ඔහුට හොඳ ඉතිහාසයක් තියෙනවා.
ඒ කාලේ සිනමාව බලන්න. ඒ කාලේ නළු නිළියන්ට තිබූ අධිකාරි බලය අද අයට ගන්න බෑ. අද අයිකොනික් චරිත සිනමාවේ ඉන්නවාද කියලා මං දන්නෙ නෑ. ඒ වෙනස්කම්වලින් අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේවා දේශපාලනයට සම්බන්ධ නෑ කියලා හලන්න බෑ. ඒ මතු මහලේ ක්‍රියාවන් දේශපාලනයටත් අවශ්‍යයි. ඒ නව සංකල්ප තුළ මතුමහල සටන අවශ්‍යයි. විජය තමන් ලබා ගත් ජනප්‍රියත්වය සමාජ ප්‍රගමනයට යෙදවීම විශේෂයි. තුන් වැනි කරුණ එතුමාගේ ආකර්ෂණය. එදා හැම පක්ෂයකම අය ඝාතනය වුණා. පෞද්ගලික බැඳීම, මතුමහල වගේම මිනිසත්කම අපට අවශ්‍යයි.

මේ රටේ සියලු දෙනා එකට ඉන්න ඕනෑ කියන තැන එතුමා හිටියා. අපිට සියල්ල කරන්න බැරි වෙයි. නමුත් සටන් කළ යුතුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon