වරක් ප්‍රතික්ෂේප වූ දූෂිත දේශපාලන බලවේග රටේ භීෂණ රැල්ලක් ගෙන යනවා

  👤  3308 readers have read this article !
By mawbima 2018-02-19

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ඉකුත් දින කිහිපය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍රය කර ගනිමින් රටේ විවිධ ස්ථානවලින් වාර්තා වුණු භීෂණ රැල්ල බරපතළ තත්ත්වයකි. ඒ පිළිබඳව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ පුවත්පත් නිවේදනය. වසර 2015 ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ දූෂිත දේශපාලන බලවේග ගෙන යන භීෂණ රැල්ල ඉතා භයානක පෙර නිමිත්තකි.

කුමන හෝ මැතිවරණයකදී ජනතාව විසින් ලබා දෙන තීරණය මත පදනම්ව ඒ ඒ දේශපාලන පක්‍ෂ හෝ කණ්ඩායම්වල ජය පරාජය නිර්ණය වීම ස්වාභාවික යුක්ති ධර්මයයි. ජය පරාජය ඉවසීමට මෙන්ම අත්කර ගත් ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳීමට ඇති නොහැකියාව තුළින් සනාථ වන්නේ මේ පුද්ගලයන් තුළ පවතින නොහැදියාවයි.
මැතිවරණයකදී තමන්ට අභිමත දේශපාලන පක්‍ෂයට හෝ කණ්ඩායමකට සහාය පළ කිරීම මෙන්ම එවැන්නක සංවිධාන කටයුතුවලට අතහිත දීම මානව හිමිකමකි. එසේ හෙයින් තමන් සහාය පළ කළ දේශපාලන පක්‍ෂය හෝ කණ්ඩායම පරාජය වීම ප්‍රතිවාදීන්ගෙන් දඬුවම් ලැබිය හැකි වරදක් නොවේ.

ඉකුත් වසර 3ක කාලයේදී අප විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පමණක් ඉටුකළ සංවර්ධන කාර්යයන් හා ප්‍රජා සේවාවන් ප්‍රමාණය අති විශාලය. ජනතාවට ඉඩම් හා නිවාස අයිතිය හිමිකර දීම, අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ යටිතල පහසුකම් නැංවීම, ග්‍රාමීය ජනතාවට පිරිසුදු පානීය ජල සම්පාදනය, සෞඛ්‍ය අංශයේ පහසුකම් පුළුල් කිරීම, මහ මාර්ග හා ග්‍රාමීය සංවර්ධනය, ග්‍රාමීය පාලම් හා වාරිමාර්ග ආදී වශයෙන් ජන ජීවිතය ප්‍රබෝධවත් කිරීම පිණිස සෘජු ලෙස ඉවහල් වූ වැඩසටහන් රාශියකි. බලය තමන් සතුව පැවති සමයේ මේ කිසිවක් ඉටු නොකළ පිරිසකගේ මන‍ෙදාළ පිනවීමේ පටු අභිලාෂයෙන් මේ පොදු ව්‍යාපෘතීන්වල නාම පුවරුවල අසභ්‍ය වදන් ලිවීම, ඒවා පෙරළා දැමීම, සමරු ඵලක හා වටිනා දේපොළ කුඩුපට්ටම් කිරීම අතිශයින්ම හාස්‍යජනකය.

මේ සියල්ලෙන් තහවුරු වන පෙරමඟ ලකුණු කිසිසේත් යහපත් නොවේ. වරක් ජනතාව ප්‍රතික්‍ෂේප කළ බලවේග විසින් දියත් කළ භීෂණ සංස්කෘතිය නුදුරු අනාගතයේදී නැවතත් කරළියට පැමිණෙනු ඇති බවට මෙය ඉතා භයානක සංඥාවකි.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon