පූර්ණ වෙනසක් නැතිව එජාපය ඉදිරි මැතිවරණවලට ගියොත් පරදිනවා

  👤  3311 readers have read this article !
By mawbima 2018-02-19

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන ගැන අපිට ගොඩාක් හිතන්න වෙනවා. අපෙන් ගිලිහී ගිය ජයග්‍රහණය නැවත ලබා ගන්න ලොකු වෙනසක් පක්ෂයේ ඇති කරන්න ඕනෑ. ඒ වෙනස කෙසේ විය යුතුද කියන එක මහජනතාව කතා කරනවා. මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ වෙනසක් ඇති නොකර ඉදිරි මැතිවරණවලට ගියොත් එක්සත් ජාතික පක්ෂය පරදිනවා යැයි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පෙරේදා
(17දා) සවස මාවනැල්ල අලුත්නුවරදී පැවැසීය.

එහිදී තිස්ස අත්තනායක මහතා මෙසේද පැවැසීය.
මේ දවස්වල දේශපාලනයේ මහා උනන්දුවක් තියෙනවා. හැමෝම බලාගෙන ඉන්නේ මේ ඡන්ද ප්‍රතිඵල අහනවා වගේ මොකද වෙන්නේ කියලා. මේ නිසා රටේ ලොකු අස්ථාවරභාවයක් ගොඩනැඟිලා. ඒ වාගේම මේ අස්ථාවරභාවය දිගටම පැවැතියහොත් එය රටට හානිකරයි.

ඒ නිසා පක්ෂයේ නායකයන්, රටේ නායකයන් ඇති වෙලා තිබෙන අරාජික තත්ත්වය දිගට යන්න නොදී වහාම තීරණයකට එන්න ඕනෑ.
මාගේ අදහස මේ පාර්ලිමේන්තුවේ බහුතරය ගණන් කරමින් ඉන්නේ නැතිව ඒ පිළිබඳව එකඟතාවකට එන්න පුළුවන් නම් එතැනට එන්න ඕනෑ කියලා. එහෙම නැත්නම් දෙගොල්ලෝ තුන්ගොල්ලෝම කතා කරලා ජනමත විචාරණයකට යන්න ඕනෑ. ඒ දෙකෙන් එකක් වෙන්නේ නැත්නම් එය රටට කරන ලොකු හානියක්.
ඇත්තෙන්ම යහපාලනය ගැන ලොකු විශ්වාසයක් 2015 ජනවාරි මාසයේ මහජනතාවට තිබුණා. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය එනකොට ලොකු වෙනසක් මහජනතාවගේ ඇති වෙලා තියෙනවා කියලා පේනවා. එහෙම බලපුවාම මේ අවුරුදු තුනක කාලයේදී නොයෙක් අඩුපාඩුකම්, ඒ වාගේම වැරැදි සහ මහජනතාව අපේක්ෂා නොකරන දේවල් සිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසා තමයි මිනිස්සු ජනවරමක් දුන්නේ. මේ ඡන්දය පළාත් පාලන ආයතනයක මන්ත්‍රිවරුන් තෝරනවාට වඩා එහා ගිය ජනමතයක් කියලා මට තේරෙනවා. ඒකේ වගකීම භාරගන්න ඕනෑ වත්මන් පාලකයන්.

මම රට වෙනුවෙන් හිට ගන්න මනුෂ්‍යයෙක්. මම නිදහස් පුද්ගලයෙක්. ඒ නිසා මට නිදහස්ව කතා කරන්න, නිදහස්ව හිතන්න, අවකාශ තිබෙනවා. ජාතික දේශපාලනයේ ලොකු පරිවර්තනයක් ඇති වෙන්න ඕනෑ වේලාවක් තමයි මේ උදා වෙලා තිබෙන්නේ. මොකද මිනිස්සු මේ සියල්ල අත්හදා බැලීම් කරලා බලනවා. මේ වෙලාවේ සුදුසුම දේ, ඒ ජනමතයට ගරු කිරීම. විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයේ ජනමතයටත් ගරු කරලා මොකක් හෝ එක තැනකට එන එක. ඒ වාගේම තව මැතිවරණ කිහිපයක් එනවා. පළාත් සභා මැතිවරණය, ඒ වාගේම ලබන අවුරුද්ද අවසාන වන විට ජනාධිපතිවරණය. ඒ නිසා මේ කාල සීමාව තව අවුරුදු එකහමාරකට වඩා නැහැ. ඒ නිසා මේ කෙටි කාලයක් තුළ ස්ථාවරත්වයක් ගොඩනඟමින්, ජනමතයක් ගොඩනඟමින් රටේ නව නායකයෙක් තෝරා ගන්න ඉඩකඩ තියෙනවා. හැබැයි එතෙක් මේ අරාජික තත්ත්වය ගොඩනඟාගන්න බැහැ.

ඒ අනුව මහජනතාවට ලබාදුන්න පොරොන්දු ටික ඉටු කිරීමට ආණ්ඩුව අසමත් වුණා. ඒ වාගේම මිනිසුන්ට සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ගත්ත ක්‍රියා මාර්ග ප්‍රමාණවත් නැහැ කියලා මහජනතාව හිතනවා. අනෙක් පැත්තෙන් බලන්න මේ මැතිවරණය හරි ආකාරයෙන් මෙහෙය වන්න එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කරාද කියලා ගැටලු මතු වෙනවා.

ඒ මැතිවරණ ක්‍රමවලදී අනුගමනය කරන උපක්‍රම තිබෙනවා. මැතිවරණවලදී සම්පූර්ණ කළ යුතු සැලැසුම් හා ඉලක්ක තිබෙනවා. ඒ මොකවත් කළේ නැහැ. අධි තක්සේරුවකින් මේ මැතිවරණයට ගියේ. ඒ නිසාම මහජනතාවගේ තීන්දුව ඔවුන්ට අදහාගන්න බැහැ. ඒ නිසා මම කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය තුළ අපි මැතිවරණය කළේ විශාල කරදර මැද. ඒ කීවේ ආණ්ඩු බලපෑම්. ජනාධිපතිවරයෙක් සිටින වේලාවේ විරුද්ධ පක්ෂයේ මැතිවරණ කරන එක අසීරු වැඩක්. ඒත් අපි ඒවාට මූණ දුන්නා. ඒ මැතිවරණ මෙහෙයවන්න ධෛර්යය දුන්නා. අද වෙලා තියෙන්නේ මේ වගකීම භාර ගන්න කෙනෙක් නැහැ. ඒක තමයි ප්‍රධානතම ප්‍රශ්නය.
ජනාධිපතිවරණය ජයග්‍රහණය පිටුපස්සෙන් සම්පූර්ණයෙන් හිටියේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයට ඒ ජයග්‍රහණය ඇති කරලා දෙන්න මහන්සි වුණේ බිම් මට්ටමේ හිටපු සාමාජිකයන්. නමුත් ඒ අයට ජනාධිපතිවරණයෙන් පස්සේ කිසිම සහනයක් ලැබුණේ නැහැ. ඒ අය දිහා බැලුවේ නැහැ. ඒ අය අත්හැරලා දැම්මා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ භුක්ති විඳින්නේ.

එක්සත් ජාතික පක්ෂය තුළ පූර්ණ වෙනසක් ඇති කළ යුතුයි. ඒ වෙනස තුළ මිනිසුන්ට දැනෙන්න ඕනෑ අලුත් එක්සත් ජාතික පක්ෂයක් කියලා. එයට අලුත් නායකයෙක්, අලුත් වැඩපිළිවෙළක් සමඟින් ඉදිරියට යා යුතුයි. පක්ෂයේ ඉන්නවානේ හොඳ නායකත්වයක් දෙන්න පුළුවන් අය. කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස වාගේ අය ඉදිරියට අරන් මේ ගමන සාර්ථක කරගත යුතු වෙනවා. මට කරන්න පුළුවන් හැම කැපකිරීමක්ම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කරලා තිබෙනවා ඉතිහාසයේ. අනාගතයෙත් එය එලෙසින්ම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon