පෞද්ගලික බසයකට ඉස්සර කිරීමට ගිය ලංගම බසයේ හැපී වියපත් මව පදික මාරුවේදීම මරුට

  👤  3224 readers have read this article !
By mawbima 2018-02-19

දමුණුපොල - චමින්ද ජයලත්, මාවනැල්ල - කේ. වී. බණ්ඩාර

කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, කරඬුපන පදික මංතීරුවේ ගමන් කරමින් සිටි කාන්තාවක් ලංගම බස් රථයකට යට වීමෙන් එම ස්ථානයේදීම පෙරේදා (17දා) අලුයම මියගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි. මෙලෙස මිය ගොස් ඇත්තේ අරණායක පොලිස් වසමේ උස්සාපිටිය, දංගහමඩිත්ත ග්‍රාමයේ සිටි පොඩිනෝනා නමැති 67 හැවිරිදි දෙදරු මවකි.

කරඬුපාන පදික මංතීරුවෙන් ඇය මාරු වීමට ගිය අවස්ථාවේ ගම්පොළ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ ගම්පහ ඩිපෝවට අයත් ලංගම බස් රථයක් තවත් පෞද්ගලික බස් රථයකට ඉස්සර කර ධාවනය කිරීමට යෑමේදී පදික මාරුවේ ගමන් කරමින් සිටි දෙදරු මව ලංගම බස් රථයේ ගැටී ඉදිරියට විසිවී එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය කියයි. ලංගම බස් රථයේ රියැදුරු බස් රථය මාර්ගය මැද නතර කර තිබියදී ප්‍රදේශවාසීන් ඔහුට පහරදී ඇත. පසුව රියැදුරු කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයට ගොස් භාරවී ඇත.

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පෙරේදා (17දා) දහවල් කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නෙරංජා උදය කුමාරි මහත්මිය විසින් සිදු කළ අතර පපුවට, හිසට, උදර කුහරයට හා පාදවලට සිදුවූ බහු විධ තුවාල හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් බවට කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්‍ෂක කිත්සිරි රණසිංහ මහතා නිගමනය කළේය.

සැකකාර බස් රියැදුරු කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සරත් ජයසේකර, පොලිස් සැරයන් ජයවික්‍රම (20970), පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රියන්ත (39871), අනිල් (40286), නන්දසිරි (41841) යන නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon