මස්තිෂ්ක රෝගයකින් පෙළුණත් ඉගෙන ගන්න දක්ෂ චම්මි සරසවි සිහිනය සැබෑ කරගන්න උදවු ඉල්ලයි

  👤  3163 readers have read this article !
By mawbima 2018-02-19

දියණියක ඉපදීම නිවෙසකට සිරියාව කැන්දන්නකි. නමුත් එම දියණිය උපතේ සිටම ආබාධිත කෙනකු වුවහොත් මවුපියන් එය කෙසේ දරාගනු ඇත්ද? උපතේ සිටම මස්තිෂ්ක ව්‍යාකූලත්වය (ඛ්ඥපඥඡපචත ර්ථීචතඵර) නමැති රෝගී තත්ත්වයෙන් පෙළෙන ජේ.ඒ. චම්මි අනුෂිමා ජයසුන්දරගේ මවුපියන්ද දහසකුත් එකක් කරදර මධ්‍යයේ ඇයගේ අධ්‍යාපන කටයුතු කෙසේ හෝ කරගෙන යෑමට දරනුයේ මහත්වූ පරිශ්‍රමයකි. කයින් ආබාධිත වුවද නිරවුල් මනසක් හිමි චම්මි කෙසේ හෝ අධ්‍යාපනය නමැති සයුර තරණය කර සිය ජීවිතය ජය ගැනීමට අදිටන් කර ගෙන සිටී. අපොස (සා.පෙළ) විභාගය ඉහළින්ම සමත්ව ඇති චම්මි පසුගිය වසරේ පැවැති අපොස (උසස් පෙළ) විභාගයට කලා අංශයෙන් ඉදිරිපත්ව සම්මාන සාමාර්ථතා දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථ එකක් වශයෙන් ලබාගෙන ඇත. කෙසේ හෝ විශ්වවිද්‍යාලයට යෑමේ අරමුණින් සිටින චම්මි නැවත වාරයක් මෙවරද විභාගයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරයි.


දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලක චම්මි වැඩිමහල් දරුවාය. චම්මිගේ පියාට ස්ථීර ආදායම් මාර්ගයක් නොමැති අතර වත්තේ වගා කර ඇති තේ අක්කර භාගයක පමණ කොටසින් ජීවත් වේ. චම්මිගේ සහෝදරයා මෙවර අපොස (සා.පෙළ) විභාගය සඳහා ඉදිරිපත් වීමට නියමිතය. දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සහ චම්මිගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා වියදම් සපයා ගැනීම පවා දුෂ්කර වී ඇති බව චම්මිගේ මව පවසයි. රජයෙන් රුපියල් 3000ක ආබාධිත දීමනාව ලැබෙන අතර එයින් දින දෙකක් පමණ සායන සඳහා යෑමට හැකි බව පවසයි. භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා දින 4ක් පමණ සහභාගි කරවීමට උපදෙස් ලැබී තිබුණත් මුදල් අගහිඟකම් නිසා වාර දෙකක් පමණක් සහභාගි කරවන බව පවසයි. අප වෙත අදහස් දැක්වූ චම්මිගේ මව රෝහිණී මෙසේ පැවැසුවාය. "මාස 7 ඉඳලා මේ දරුවා ගොඩ ගන්න අපි මහන්සි වුණේ. දරුවා හම්බ වෙනකොට ස්නායුවක් තැළිලා මෙහෙම වෙන්න ඇති කියලා තමයි කියන්නේ. මෙයාගේ ශරීරයේ මේ වෙනකොට ඔපරේෂන් 4ක් කරලා තියෙනවා, කකුල්වල පහළ,

දණහිස කොටසේ සහ ඉකිළිවල. වැඩි හරියක් ඉඳලා තියෙන්නේ ඉස්පිරිතාලවල. ඉස්සරවෙලා අපි ආයුර්වේද ප්‍රතිකාරත් අවුරුදු ගණනාවක් කළා. එක සැරයක් ගම්පොළ පැත්තේ ආයුර්වේදයක නවත්වලා හිටියා මාසයක් විතර. දැන් මාසෙකට වෛද්‍ය සායන 4කටයි භෞත චිකිත්සක සායනවලටයි යන්න වෙලා තියෙනවා. මෙයා පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්න දක්ෂයි. කොච්චර කල් ඉස්පිරිතාලේ හිටියත් ආපසු ආපු ගමන් ඉස්කෝලේ ගිහින් පසුගිය පාඩම් ටික අල්ලා ගන්නවා. අරණායක මානදි විද්‍යාලයේ ඉගෙන ගන්නේ. මෙතැන ඉඳලා කිලෝමීටර් තුනක් විතර තියෙනවා. දරුවාව පාසල් ගෙනියන්න ඕන නිසා ණය වෙලා පරණ ත්‍රීවීල් එකක් ගත්තා. දැන් ඒකත් කැඩිලා. මෙයාට ජීවිතේ ගෙනියන්න බලාපොරොත්තුවක් තියෙන්න ඕනනේ. ඒ නිසා කොහොම හරි පුළුවන් තරම් උගන්වන්නයි අපේ උත්සාහය. පන්ති යවන්න පුළුවන් කමක් නැහැ. පන්ති ගාස්තුයි මෙයා අරගෙන යන්නයි බැලුවහම හරිම අපහසුයි. ඒ නිසා ගෙදර ඉඳලා පොත්පත් කියවලා තමයි වැඩිපුර ඉගෙන ගන්නේ. ඒ නිසා ගෙදර ඉඳලා තොරතුරු හොයාගෙන පාඩම් කරන්න ලැප්ටොප් පරිගණකයක් හරි ගන්න පුළුවන් නම් හොඳයි කියලයි කවුරුත් කියන්නේ. නමුත් අපිට එදිනෙදා වියදම් දරා ගන්නත් අමාරු කාලෙක කොහොමද එහෙම දේවල් ගැන හිතන්නේ" යැයි පැවැසීය.

චම්මි අනුෂිමා සිය හඬ අවදි කරමින් අප සමඟ පැවැසුවේ කෙසේ හෝ විශ්වවිද්‍යාලයට ගොස් උපාධියක් ලබා ගෙන රැකියාවක් කිරීම තම එකම බලාපොරොත්තුව බවයි. චම්මිගේ ලිපිනය - ආඩියාකොටුව, උඩගම පාර, අරණායක ය. චම්මි අනුෂිමාගේ බලාපොරොත්තුව සඵල කිරීමට උපකාර කිරීමට කැමැති අයෙක් වෙතොත් අංක 0355680723 දරන දුරකතන අංකය අමතා සම්බන්ධ කරගත හැකිය.

දෙවනගල - ජනනාත් වික්‍රමසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon