දඹුලු ප්‍රශ්නය පමා වී හෝ විසඳීම සතුටක්

  👤  3269 readers have read this article !
By mawbima 2017-07-16

මහනුවර _ ගයා ශ්‍රී කාරියවසම්

රංගිරි දඹුලු විහාරයේ ඇති වූ අර්බුදය පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගැනීමට තිබූ මුල් අවස්ථාව ගිලිහී යෑම නිසා එය රටේ...මහත් ආන්දෝලනයක් බවට පත්වූ බවත් පමාවී හෝ දෙපාර්ශ්වය එක්වී මෙම අර්බුදය නිරාකරණය කරගැනීමට ලැබීම සතුටට කරුණක් බවත් අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමි අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ සඳහන් කළහ.

පුරාවිද්‍යා උපදේශක මණ්ඩලයේ නිලධාරීන් සහ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ හිමිවරුන් පෙරේදා (14) අස්ගිරි විහාරයීය මංගල උපෝෂථාගාරයේදී පැය දෙකහමාරකට ආසන්න කාලයක් රංගිරි දඹුලු විහාරස්ථානය පිළිබඳව පැනනැඟී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව උන්වහන්සේ එසේ කීහ.

මේ සාකච්ඡාවෙන් අනතුරුව රංගිරි දඹුලු විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු විහාරාධිපති හිමියන් සහ භාරකාර හිමියන්ගේ අධීක්ෂණය යටතේ නොකඩවා සිදු කිරීමටත්, දඹුලු ලෙන් විහාර සංරක්ෂණ කටයුතුවලදී පුද පූජා කටයුතු, වන්දනාමාන කටයුතු සහ සංරක්ෂණ කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමටත් දෙපාර්ශ්වය එකඟතාවට පැමිණියහ. එමෙන්ම පුරාවිද්‍යා උපදේශක සභාව සහ මධ්‍යම සංස්කෘතික උපදේශක සභාව වැනි සභාවන් කටයුතු කිරීමේදී මහ විහාරවල උපදෙස් ලබාගත යුතු බවටද එහිදී දෙපාර්ශ්වය එකඟතාවට පැමිණියහ.

රංගිරි දඹුලු විහාරයේ ප්‍රවේශ පත්‍ර අලෙවි කරන්නේ නම් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ මැදිහත් වීම යටතේ එය සිදුකිරීමටත් දෙපාර්ශ්වය එකඟතාව පළ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්