අද දවස තීරණාත්මකයි

  👤  3982 readers have read this article !
By mawbima 2018-02-19

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලුව නිරාකරණය වී නොමැති තත්ත්වයක් තුළ අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයෙන් ජනාධිපති හා අගමැති නායකත්වය දුන් කණ්ඩායම් දෙකම අන්ත පරාජයට පත්ව පොහොට්ටුව ජයග්‍රහණය ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව පළමුවරට අද රැස්වීම මේ උණුසුම වඩාත් තීව්‍ර කිරීමට හේතුවක් වනු ඇතැයිද පැවැසේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරයක් තිබෙන බව පෙන්වීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන අතර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාට බහුතරය ඇති බවට පෙන්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය උත්සාහ කරන අතර ඊයේ සවස වනතුරුත් ඒ පිළිබඳ සාර්ථකත්වයක් දෙපාර්ශ්වයම අත්කර ගෙන නොතිබුණු බව වාර්තා විය. එම තත්ත්වය බොහෝ දුරට අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වීමට ඉඩ තිබීමද උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවීම තවත් හේතුවක් වී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටිය හොත් අග්‍රාමාත්‍ය ධුරය සහ ආණ්ඩුවේ වලංගුභාවය ගැන දැඩි ලෙස ප්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨ අමාත්‍යවරයකු අප සමඟ පැවැසුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ඇති විශ්වාසයේ කිසිම ගැටලුවක් නොමැති බවයි.
මේ අතර දෙපාර්ශ්වයෙන්ම බහුතරය පෙන්වීමට සූදානම් වන සාකච්ඡා ඊයේ (18දා) මධ්‍යම රාත්‍රිය දක්වා පැවැතුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසූරිය, ජනාධිපති නිල නිවෙසේදී ඊයේ රාත්‍රි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුණගැසී පැවැති පැය භාගයක පමණ සාකච්ඡාවේදී රට අස්ථාවර වීමත්, මූල්‍ය වෙළෙඳපොළ කඩාවැටීම හා කොටස් වෙළෙඳපොළ කඩාවැටීමත්, රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහළ යෑම හා රට ගැන පවතින ජාත්‍යන්තර විශ්වාසය බිඳවැටීමත් යන කරුණු රැසක් කතානායකවරයා විසින් ඉදිරිපත් කර ඇත.

මේ පිළිබඳ අවධානය යොමුකර හැකිතරම් ඉක්මනට උද්ගතවී ඇති තත්ත්වය මඟහැරවීමට පියවර ගන්නැයි කතානායකවරයා ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් අගමැතිවරයා සමඟ කටයුතු කළ නොහැකි බව සඳහන් කරමින් තමා වෙත ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇති බව, මෙහිදී ජනාධිපතිවරයා විසින් දැනුම් දුන් බවද දැනගන්නට ඇත.

පළාත් සභා ඡන්දය පැවැත්වෙන තෙක් තමාට අගමැති ධුරයත් එජාප නායකත්වයත් දැරීමට එකඟත්වය පළවී ඇති බව මෙහිදී අගමැතිවරයා පවසා ඇති බවද පැවැසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon