ජර්මනියේ අම්මටයි කොරියාවේ තාත්තටයි දෙහිවලදී හම්බවුණ කොල්ලයි කෙල්ලො දෙන්නයි

  👤  3209 readers have read this article !
By mawbima 2018-02-18

තාත්තාගේ නම තෝර්. අම්මාගේ නම ෂහීනා. දැන් අලුත උපන් බබාලාට නම් තියන වෙලාව. අම්මාගෙයි තාත්තාගෙයි නම්වලට ගැළපෙන්නත් ඕනි. සිංහල නම් වෙන්නත් ඕනි.
'ජනනි හොඳයි'
'ඇයි ජනිත නමත් හොඳයි'

'රුහුණුත් නරකම නෑ'
එක් එක්කෙනා විවිධ නම් යෝජනා කරනවා. මොකක්ද මේ කලබලේ. දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි සිංහ ධේනුවට පැටව් තුන්දෙනෙක් ලැබිලා. ඒ අයට තියන නම් ගැනයි මේ කතාබහ. අලුත උපන් සිංහ පැටව් බලන්න මිනිස්සුත් වටවෙලා. සිංහ තාත්තා හරිම ආඩම්බරයෙන් තම සීමාව තුළ ඇවිදිනවා. ඒ විතරක් නෙවෙයි මහ හයියෙන් ගොරවනවා. පැටව් තුන් දෙනා හරි හරියට අම්මගෙන් කිරි උරනවා.

"වැඩිම දඟයා ඔතැන ඉන්න කොල්ලා. අනිත් දෙන්නා කෙල්ලෝ. කොල්ලා ටිකක් මහතයි. කළු පාටට හුරුයි. ඒ වගේම හරි වසයි."
සිංහ පැටව් ගැන විස්තර කියන්න අපිත් එක්ක එකතු වුණේ දෙහිවල සත්ත්ව උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා අනෝමා ප්‍රියදර්ශනී හා සහකාර අධ්‍යක්‍ෂිකා දිනූෂි මානවඩු.
"සිංහ පැටව් ඉපදුණේ ජනවාරි 22 සවස 2ට විතර. පැය දෙකක කාලය තුළ පැටව් තුන්දෙනාම ඉපදුණා. පැටව් තුන්දෙනෙක් නිසයි එතරම් කෙටි කාලයකින් හැමෝම ලැබුණේ. පැටව් 5ක් 6ක් හිටියා නම් සමහර විට අන්තිමයන් ඉපදෙන්නේ දවසක් විතර පසුවෙලා. මේ සිංහ ධේනුව මීට පෙරත් තෙවතාවක් පැටව් බිහිකළා. ඒ අයගෙන් තුන්දෙනෙක් තවමත් මෙහෙ ඉන්නවා. අනිත් තුන්දෙනා ඉන්නේ හම්බන්තොට. ඒ අය දැන් ලොකුයි. සිංහ තාත්තා ඔය තරම් ගොරවන්නේ වගකීම පිළිබඳව අනිත් අයට කියන්න. චණ්ඩියෙක් ඉන්නවා නම් එන්න. මම සටනට සූදානම් කියන්නා වගේ."

සිංහ ධේනුවයි පැටව් තුන්දෙනයි ඉන්න තැන සිංහයා හිටියම පැටවුන්ට කරදරයක් නැද්ද?
"දැන් ඔය ආඩම්බරයෙන් හිටියට පළමුවැනි වතාවටයි මෙයාව මේ පැටවුන් එක්ක තිබ්බේ. ආඩම්බර ඇත්තෙත් ඒ නිසාම වෙන්නැති. අපි ඒ වුණාට විමසිල්ලෙන් හිටියේ. නමුත් පැටවුන්ට කිසිම කරදරයක් කළේ නෑ. සිංහයා, ධේනුවට වගේම පැටවුන්ටත් හරිම ආදරෙයි. පළමුවැනි පැටියා ලැබුණේ එළිමහනේදී. සිංහ ධේනුව හනිකට කූඩුව ඇතුළට ගියේ පැටියා තියන්න ආරක්‍ෂිත ස්ථානයක් හොයන්න. ඒ ටික වෙලාවට සිංහයා පැටියගේ ඇගේ තිබූ රුධිරය සියල්ල ලෙවකාලා ඉවත් කරලා ධේනුව එනකම්ම පැටියා ළඟින් නොසෙල්වී සිටියා. බල්ලෝ, පූසෝ වගේ මේ අයත් තමන්ගේ පැටව් එහෙ මෙහෙ ගෙනියන්නේ බෙල්ල පිටිපස්සෙන් අල්ලාගෙන. නමුත් මේ සිංහයාගේ පළමු අත්දැකීමනේ. උෟ පැටියාව ඇල්ලුවේ පිටිපස්ස පැත්තෙන්. ධේනුව ගොරවලා මොනවදෝ කිව්වා. ඒ ගමන සිංහයා පැටියව අතෑරලා හරි තැනින් අල්ලාගෙන අරන් ගියා. ඉපදෙද්දී ගෑනු සිංහ පැටියෙක් හිටියේ ටිකක් දුර්වල වෙලා. සිංහ ධේනුවයි සිංහයයි නිතරම ඒ පැටියා ගැන බැලුවා. දෙන්නට මැදි කරගෙන තමයි හැම වෙලාවෙම හිටියේ. දැන් එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ පැටියත් හොඳ සනීපෙන් ඉන්නවා."

සිංහ ධේනුව එහෙමත් නැති නම් ෂහීනා දෙහිවල සත්ත්ව උද්‍යානයට ලැබී තිබුණේ ජර්මනියෙන්. තෝර් ලැබුණේ කොරියාවෙන්. මේ දෙන්නාගේම වයස අවුරුදු 10ක් පමණ වන බවයි ආරංචි. පුංචි කාලේ සිටම සත්ත්ව උද්‍යානයක හැදී වැඩුණු ෂහීනා හා තෝර් කෙසේ නම් පැටව් රැක බලා ගනීද කියන සැකය සත්ත්ව උද්‍යාන නිලධාරීන් තුළ මතුවී තිබුණත් එම සිතිවිල්ල එම සැකය නිවැරැදි නොවූ බවයි ඔවුන් පවසන්නේ.

"ෂහීනා කවදත් තම පැටවුන් හොඳින් රැක බලා ගත්තා. තෝර් ගැන සැකයක් තිබුණා. සාමාන්‍යයෙන් සත්ත්ව උද්‍යාන තුළ වැඩුණු සතුන්ට තම පැටවුන් හරියාකාරව රැක බලා ගැනීමේ හැකියාව නෑ. නමුත් මේ දෙන්නා ඒ අතින් හරිම වෙනස්. තමන්ගේ පැටවුන් ඉතාම ආදරයෙන් බලා ගන්නවා. අපිට කරන්න දෙයක් ඇත්තේම නෑ. මේ පැටව් තුන්දෙනා කොහෙවත් යවන්න අපේ බලාපොරොත්තුවක් නෑ. මේ සිංහ ධේනුවගෙන් තවදුරටත් පැටව් බලාපොරොත්තු වෙන්නත් අමාරුයි. ඒ ගැන තීරණයක් තවම අපි අරගෙන නෑ."

පැටව් තුන්දෙනා හරි හරියට අම්මාගෙන් කිරි බොනවා. කොහොමත් මාස 3ක් යනකම් මේ අයට ලැබෙන්නේ මවගේ කිරි පමණයිලු. ඉන් පසු සිංහ ධේනුව වමාරන කෑම ටික ටික පැටවුන්ට පුරුදු කරන බවයි අපිට දැනගන්න ලැබුණේ. තළා කැබැලි කර ගත් මස් පැටවුන්ට ලබාදෙන්නේ ඊටත් පසුව බවයි සහකාර අධ්‍යක්‍ෂ දිනූෂි මානවඩු පවසන්නේ.

"සිංහයන්ට කෑම දෙද්දී මුලින්ම කන්න දෙන්නේ සිංහයාට. එයාට කෑම දීලා කූඩුවට දාලා වහලා තමයි අම්මටයි පැටවුන්ටයි කන්න දෙන්න ඕනි. එහෙම නැතිව කට්ටියටම එකට කෑම දුන්නොත් ධේනුවටත් පැටවුන්ටත් අවශ්‍ය ප්‍රමාණයට කෑම ලැබෙයිද කියලා සැකයි. සිංහයන්ට අපි වැඩිපුරම කන්න දෙන්නේ හරක් මස්. කුකුළු මසුත් තරමක් දෙනවා. මීට පෙර නම් එක දවසක් මේ අය නිරාහාරව තැබුවත් දැන් පැටවුන්ට කිරි දෙන්න ඕන නිසා හැමදාම කෑම දෙනවා. කොහොමටත් දවසට මස් කිලෝ 6ක් පමණ මේ අයට අවශ්‍ය වෙනවා. පැටවුන්ව අල්ලලා බැලුවේ අපි එක වතාවයි. නිතරම අල්ලන්න ගියොත් අපේ සුවඳ පැටව් ළඟින් එන නිසා අම්මටයි තාත්තටයි පැටව් හඳුනා ගන්න වෙලාව ගත වෙනවා. අනික අපිට නිතර ඒ අය බලන්න ඕන වෙන්නේ නෑ. අම්මයි තාත්තයි හිතුවාට වඩා හොඳට පැටව් බලා ගන්නවා."

අලුත උපන් සිංහ පැටව් තිදෙනා දැකබලා ගැනීමේ අටියෙන් අපි සත්ත්ව උද්‍යානයට ගිය නමුත් අලුත උපන් තවත් පැටව් කීපදෙනෙක්ම අපි දැක්කා. බූරු පැටියෙක්, සීබ්‍රා පැටියෙක් හා ලංකාවට ආවේණික වූ ගැට හොඹු කටුසු පැටව් 13ක් ඒ අතර සිටියා.

"සීබ්‍රා පැටියාගෙත් විශේෂත්වයක් තියෙනවා. මෙයාගේ කකුල් හතර සාමාන්‍ය පැටියකුට වඩා හුඟක් උසයි. මෙයා ඉපදෙන්න ටිකක් කල් ගියා."
දෙහිවල සත්ත්ව උද්‍යානයට ඇතුළු වන තැනම තියෙන දැන්වීම් පුවරුවේ 'ව්ඡ්එ ඕර්ණීඅව්' කියලා ලියලා මේ අය ගැන සඳහන් කරලා තියෙනවා. ඒ නිසා හෙට අනිද්දා සත්ත්ව උද්‍යානය පැත්තේ යන්න ඉන්නවා නම් මතක් කරලා මේ පැටවුනුත් බලලා එන්න. තෑගි ඕන නෑ.

චාමිණි ගම්මන්පිල
ඡායාරූප: තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon