පළාත් පාලන ප්‍රතිඵලයෙන් ආණ්ඩුවට දැනෙන පාඩමක් උගන්වලා

  👤  3072 readers have read this article !
By mawbima 2018-02-18

පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයත් සමඟ එජාපයට අත්වූයේ දැවැන්ත පරාජයක්. ජනතාව එජාප ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරලා. මේ පරාජය ඇත්තටම පිළිගන්නවාද..?
ඔව්. අපි ජනමතයට ගරු කරනවා. මේ ඡන්දයේදී යහපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාව අනුමත කළේ නැහැ. ඒ නිසා අපි පරාජය වුණා. ජනතාව යහපාලන ආණ්ඩුවට පිළිතුරක් දීලා තියෙනවා. අපේ වැරැදි හදාගෙන හොඳ ගමනක් යන්න කියලා.

ඒ වුණාට ජනතාව කියන්නේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත් විය යුතුය කියානේ..?
පළාත් පාලන ඡන්දයෙන් ආණ්ඩු වෙනස් කරන්න බැහැ. නමුත් මේ ප්‍රතිඵලයෙන් ආණ්ඩුවට දැනෙන පාඩමක් උගන්වලා තිබෙනවා. හැබැයි අපට ජනතාව දුන්න පණිවුඩේ අරගෙන හරියට ගමනක් යන්න ඕන.

එතකොට අගමැති වෙනස් වෙන්නේ නැද්ද..?
අපට පාර්ලිමේන්තු බහුතරය තියෙනවා. එතකොට එජාපයයි ආණ්ඩුවක් හදන්නේ. අනෙක එජාපයේ අගමැති ඉවත් කරන්න කියලා කාටවත් කියන්න බැහැ. අනෙක ජනතාව එජාපය පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් කළ වැඩපිළිවෙළ විතරයි පරාජය කළේ.
මේ විදියට පරදින්න හේතු මොනවද..?

යහපාලනය බලයට එනකොට දුන් පොරොන්දු ඇමැතිවරු සහ නිලධාරීන් හරියට ක්‍රියාත්මක කළේ නැහැ. අපට ලොකුවටම බලපෑවේ පොහොර සහනාධාරය. ඒ මුදල් හරියට ගිණුමටද ගියේ නැහැ. අනෙක් පැත්තෙන් බීජ ටික වෙලාවට ලබාදෙන්න බැරිවුණා. මේ රටේ සියයට 60ක් ඉන්නේ ගොවි ජනතාව. මේ හේතු නිසා ගොවි ජනතාව ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. ඒ වගේම බැඳුම්කර ගනුදෙනුව, පාසල් නිල ඇඳුම්, මහපොළ ශිෂ්‍යත්වය නැති එක, පෙළපොත් ප්‍රශ්න ආදී ජනතා ප්‍රශ්න ගොඩකට විසඳුම් හරියට ලැබුණේ නැහැ. හාල් මිල රුපියල් 110ට යද්දී වී මිල අඩු වුණා. සමෘද්ධි සහනාධාර හරියට ලැබුණේ නැහැ. පෝෂණ
මල්ල හරියට මවුවරු අතට ගියේ නැහැ. පින්පඩි දෙන විට ප්‍රශ්න තිබුණා. මේ හේතු නිසයි අපට මේ ඉරණම අත්වුණේ.

ජනාධිපති - අගමැති පාලනය පරදා තුන්වැනි බලවේගයක් ජයගත්තා. හැබැයි ඡන්දයට පෙර අපි තමයි දිනන්නේ කියලා ජනාධිපතිනියි අගමැතියි ආඩම්බරකමෙන් හිටියේ..?
හිටපු ජනාධිපතිතුමා තමයි පළාත් පාලන ඡන්දයේදී නායකත්වය ගත්තේ. මේක හිටපු ජනාධිපතිතුමාට දුන්න ඡන්දයක්. මේක අපේක්ෂකයන්ට දුන්න ඡන්දයක් නෙවෙයි. සමස්ත ඡන්ද සියල්ලම ලැබුණේ මහින්ද මහත්තයට.

2015දී මහින්ද මහත්තයට දුන්න ඡන්ද ප්‍රමාණය උපරිමයෙන්ම ආයිත් ලැබුණ එකයි ඇත්ත..? ඒක පිළිගන්නවාද..?
ඒ හා සමානව හෝ උපරිමයෙන් කියන්න බැහැ. මොකද ඡන්ද අඩුවෙන් එතුමාට ලැබුණේ. සමස්තයක් වශයෙන් ගත්තොත් ගමේ ඡන්ද ටික ලැබිලා තියෙනවා.
ඒ කියන්නේ ගම මහින්දට ගිහින්...?

ඔව්. මොකද යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. සමෘද්ධිය අන්තිම මාස දෙකේ ලැබුණේ නැහැ. බිම් මට්ටමේ ඉන්න රජයේ නිලධාරීන් පසුගිය ආණ්ඩුවෙන් පත්කළ අය. එක් කෙනෙක්වත් නැහැ යහපාලනයෙන් පත්කළ අය. ඒ අය ගමට ගිහින් කිව්වේ භාණ්ඩාගාරයේ සල්ලි නැති නිසා අපට සමෘද්ධිය දෙන්න විදියක් නැහැ කියලා. වැඩිහිටි දීමනාව වෙලාවට දීගන්න බැරිවුණා. ඒවා දෙන්න බැරි වෙන කොට ග්‍රාම නිලාධාරීන් කිව්වේ රජයට සල්ලි නැහැ වැඩිහිටි දීමනාව දෙන්න ආණ්ඩුවට සල්ලි නැහැ කියලා. ඒ හින්දා ජනතාව මේ පාර ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවා.

ජනාධිපතිතුමයි - අගමැතිතුමයි ඡන්ද වේදිකාවට නැඟලා කිව්වේ මේ අවුරුදු තුනේ අපි ආර්ථිකය ශක්තිමත් කළා ජනතාවට ණය බරක් නැහැ. අපි ණය ගෙවනවා. ඉස්සරහට හොඳ ආර්ථිකයක් හදන්න, සංවර්ධන ඉලක්ක කරා යන්න ඡන්දය දෙන්න කියලයි. නායකයෝ දෙදෙනා ජනතාව ඉදිරියේ බොරු කිව්වේ ඇයි..?
මේවාගේ කියමන් ඡන්දයේදී බලපෑවා. යහපාලන ආණ්ඩුව පළාත් පාලන ඡන්දය පරාද වුණ එකට ජනාධිපතිතුමයි අගමැතිතුමයි දෙන්නම වගකියන්න ඕන. අපි ඒක පිළිගන්න ඕනෑ.

එදාවේල කන්න නැතිව ඉන්න ජනතාවට ඊට පිළියම් දෙනවා වෙනුවට ජ්පඥඥ - එඪජ්ඪ දෙන්නයි කතා කළේ. ඇයි මෙහෙම කතා කියන්නේ..?
අගමැතිතුමා කිව්ව සමහර දේවල් අපට අවාසි වුණා. ඒකත් අපි පිළිගන්න ඕන.
ජනාධිපතිතුමයි අගමැති අතරයි විශේෂ සාකච්ඡා වට කිහිපයක් තිබුණා. අගමැතිවරයා තනතුරෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයාත් කියා තිබුණා. මේ විදියට ගිහින් එජාපය විපක්ෂයටම හේත්තු වෙයිද..?

සමහර රැස්වීම්වලට මමත් සහභාගි වුණා. එතැනදී අපේ අදහසුත් විමසුවා. එතැනදී කතාවුණේ තනි ආණ්ඩුවක් හදන්න හරි යහපාලන අනුව ඉදිරියට යන්න හරි යමු කියලා. තනි ආණ්ඩුවක් හදනවා නම් බහුතරයක් අපට ඉන්නවා. බහුතරයක් ඉන්න නිසා එජාප තනි ආණ්ඩුවක් හදලා යහපාලනයේ අප දුන්න පොරොන්දු ඉටු කරන්න පුළුවන්.
ජනවාරි 8 පොරොන්දු ඉටු නොකර තවත් පාරක් ජනතාව රවට්වන්න ලැජ්ජා නැද්ද..?

මෙතැන අපි පැරදුණා. ජනතාව අපට පාඩමක් ඉගැන්නුවා. නමුත් ඒ පොරොන්දු ඉටු නොකළ නිසා. දැන් අපට තනි ආණ්ඩුවකට යන්න පුළුවන්. ඊට පස්සේ යහපාලන ප්‍රතිපත්ති ඉටු කරන්න පුළුවන්. කොහොම හරි අපට තනි ආණ්ඩුවක් හදාගන්න පුළුවන්.
හදන්න වෙන්නේ එජාප සුළුතර ආණ්ඩුවක්. ඉතිරි බහුතරය හදාගන්නේ කොහොමද..?
සන්ධානයෙන් ඔක්කොමලා යන්නේ නැහැ. ඒකේ කිහිපදෙනකු අප සමඟ එකතු වෙනවා. එතකොට අපට බහුතරය හැදෙනවා.
ඇයි එජාප අගමැතිවරයෙක් යටතේ කිසිදු ශ්‍රී ලනිප මන්ත්‍රිවරයෙක් ඇමැතිවරයෙක් ආණ්ඩු හදන්න එන්නේ නැහැ කියලනේ කියන්නේ..?
ඒ අය හිතන් ඉන්නේ ශ්‍රී ලනිපය පැරදුණේ අපේ අගමැති නිසයි කියලා. ඒක වැරැදියි. අපි අගමැතිවරයා එක්ක මැතිවරණයට ගියා. එයාලා විධායක ජනාධිපති එක්ක තරගයට ගියා. අපි දෙවැනි තැනට ආවා. එයාලා හතරවැනි තැනට වැටුණා. ඒකට අපේ අගමැති පළි නෑනේ.
බැඳුම්කර සිද්ධියත් මේ පරාජයට හේතුවුණා..?
ඒක බලපෑවේ එජාපයට. ශ්‍රී ලනිපයට නෙවෙයිනේ. එයාලනේ වේදිකාවේ අපේ සතුරු ඇරියේ.
කවදද අලුත් ආණ්ඩුව පිහිටුවන්නේ..?

ඒක ඉදිරියේදී තීරණය වෙයි. මේ දිනවල සාකච්ඡා කරනවා.
තනි ආණ්ඩුවක් හදලා ආයි බලය ගන්න පුළුවන්ද..?

පුළුවන්. අපි මේ පාර උපරිමයෙන්ම ආණ්ඩුව කරනවා.
2020 ජනපති සටනට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරලා දිනන්න පුළුවන් කියලද හිතන්නේ..?
අපට ආණ්ඩුව 2020 වෙනකම් ගෙනියන්න පුළුවන්. අගමැතිවරයා එක්ක අපි 2020 වෙනකම් යනවා. 2020 අපේක්ෂකයා කවුද කියන එක කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් තීන්දු කරයි. මේ පාර අපිට බලපෑවේ පොහොර සහනාධාර නැතිවීම, සමෘද්ධිය නැතිවීම තදින්ම බලපෑවා. ඒ වගේ ගොඩක් වැරැදි වුණා. ඒ වැරැදි අපි පිළිගන්න ඕන.
පක්ෂයේ වෙනසක් වෙන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද..?
පක්ෂයේ වෙනසක් අනිවාර්යෙන්ම වෙන්න ඕන. ඒ වෙනස කොහොමද වෙන්නේ කියන එක ගැන අපි කරුණු ඉදිරිපත් කරලා තියෙනවා.
වෙනස කියන්නේ අලුත් නායකත්වයක් ඕන කියන එකද..?

අගමැතිතුමා 2020 වෙනකම් ඉන්නවා. පක්ෂ නායකත්වයට අලුතෙන් කණ්ඩායම් හදන්න ඕන.
හැබැයි අගමැතිවරයා කිව්වේ මට නායකයෝ හදන්න බැහැ. නායකයෝ බිහිවෙන්න ඕන කියලයි..?
නැහැ. එහෙම කිව්වේ නැහැ. අපි නායකයෝ කවුද කියන එක මේ වනවිට සාකච්ඡා කරගෙන යනවා. අපි කණ්ඩායම් සාකච්ඡා කරලා කවුද පක්ෂ නායකයා කියලා ඉදිරියේදී තීන්දුවක් ගන්නවා.

කවුද ඒ නායකයා...?
කිහිපදෙනකුගේ නම් යෝජනා වුණා.
පසුපෙළින් දැඩි විරෝධයක් අගමැතිතුමාට එල්ල වුණා. මේක ඇත්තටම සිදුවුණු දෙයක්ද දේශපාලන ජවනිකාවක්ද..?
පසුපෙළේ මන්ත්‍රිවරු කියන්නේ අපි තනි ආණ්ඩුවකට යමු කියලයි. එහෙම නැත්තම් ඉදිරියේදී අමාරු වෙනවා. යහපාලන ආණ්ඩුව තුළ හැම දෙනාටම ඕන ඕන තීන්දු ගන්න බැරි වුණා. සමෘද්ධි ගත්තොත් එස්.බී. දිසානායක තමයි විෂය භාර ඇමැති. ඒක ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතැනදී අපට තීන්දු තීරණ ගන්න බැහැ පක්ෂ දෙකක් නිසා. ඒ නිසා තමයි තනි ආණ්ඩුවකට යමු කියන්නේ.

ජනවාරි 8ට පස්සෙ දින 100ට නොගිහින් ඔය වැඩේ කළානම් ඉවරනේ. ඡන්දයකට ගියා නම් අද 2/3 බහුතර ආණ්ඩුවක් තියෙනවා. මේ විදියට කරපු එක මෝඩකමක් කියලා හිතෙන්නේ නැද්ද..?

ඇත්තටම හිතෙනවා. ඒ වෙලාවේ අපි ඡන්දයකට ගියා නම් අපට විශිෂ්ට ජයක් හිමිවෙනවා. නමුත් වෙනසක් ඇති කරන්න ගිහින් මේ වැඩේ අවුල් වුණා. අනෙක පළාත් පාලන ඡන්දය කල්ගියා. අලුත් විදියට ඡන්දය තියන්න ඕන කියලා ඒකත් පරක්කු වුණා. මේ පරාජයට ඡන්ද පරක්කුවත් බලපෑවා.
මේ ඡන්දය ජනමත විචාරණයක් විදියටයි ඒකාබද්ධය දකින්නේ. අලුත් ව්‍යවස්ථාවක් හරහා බලය බෙදීමට විරුද්ධවයි මේ ඡන්දය භාවිත කළේ. ඒකාබද්ධය කියන්නේ එහෙමයි...?

මේ ඡන්ද ප්‍රතිඵලය යහපාලන ආණ්ඩුවට දුන් පොරොන්දු ඉටු නොකිරීම මත ලැබුණු ඡන්දයක්. මේ අඩුපාඩු නිසයි බිම් මට්ටමේ ජනතාව අපට පාඩමක් ඉගැන්නුවේ. මේ ඡන්දය ජනමත විචාරණයක් නෙවෙයි. එහෙම වුණානම් මහින්ද මහත්තයා පරාදයි. මොකද එතුමගේ ඡන්ද ප්‍රතිශතය සියයට 46යි දශම ගණනක්. අනෙක් ඔක්කොම සියයට 60කට ආසනයි.

ඇයි හොරු ඇල්ලුවේ නැත්තේ...?
ඒක නිසයි අපට මේ පරාජය අත්වුණේ. ඒකට මේ නායකයෝ දෙන්නම වගකියන්න ඕන. එයාලටයි බලය තියෙන්නේ. එයාලයි මේක කරන්න ඕන.
එජාපය දිනපු පළාත් පාලන ආයතන බලය ඒකාබද්ධය හා ශ්‍රී ලනිපය එකතුවී අල්ල ගන්න හදනවා. එතකොට ආයි බලය එජාපයෙන් ගිලිහෙනවා..?
සමහර පළාත් පාලන ආයතනවල ඔය ප්‍රශ්නය තියෙනවා. ඒ පළාත් පාලන ආයතන ශ්‍රී ලනිපය හා එක්ව පිහිටුවනවාද කියන එක සාකච්ඡා පවත්වනවා. ඒක හරිගියොත් එකතුවෙලා පළාත් පාලන ආයතන පිහිටුවනවා.

එජාප තනි ආණ්ඩුවක් හදනකොට පළාත් පාලන ආයතන විතරක් යහපාලනයෙන් මොකටද...?
එතකොට ඒක වෙනස් වෙනවා. එවිට අපට ඒ බලය ලැබෙන්නෙත් නැහැ.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon