අවයව දන් දී ජීවිතය පුදන බෝසත් කුලයක පාරමිතාව

  👤  3038 readers have read this article !
By mawbima 2018-02-18

වකුගඩු රෝගය මෙරට ඔඩුදිවූ ගැටලුවකි. මේ වනවිට ශ්‍රී ලංකාවේ වසරකට විවිධ හේතු මත වකුගඩු රෝගයට අලුතින් බිලිවන පිරිස 5,000 ඉක්මවන බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාද පෙන්වා දෙයි. අසරණ වකුගඩු රෝගීන් උදාවන හැම දිනකම පාහේ දෑස් දල්වා බලා සිටිනුයේ තමන්ට ජීවිතය දිය හැකි දේවදූතයකු එනතුරුය. මෙම රෝගීන් සියල්ලන්ටම වකුගඩු බද්ධ කිරීමේ අවශ්‍යතාව පවතී.

ජීවී පුද්ගලයකුගේ හෝ මොළය මියගිය පුද්ගලයකුගේ වකුගඩු ලබාදෙන බද්ධ කිරීම මේ සඳහා ඇති එකම විසඳුමය. ජීවී පුද්ගලයකුගේ කෙසේ වෙතත් මොළය මියගිය පුද්ගලයකුගේ වකුගඩු ලබාගැනීමේ හැකියාව පැවතියත් එම ක්‍රියාවලිය පිළිබඳව අප තවමත් නිවැරැදිව දැනුවත් නොවී සිටීම විශාල බාධාවක් වී ඇත. වකුගඩු පමණක් නොව මොළය මියගිය පුද්ගලයකුගේ අක්මාවට පවා මරණය අබියස සිටින පුද්ගලයකු ජීවත් කරලීමට හැකියාව ඇත. අවයව දානය අප අද ඊයේ කතා කළ මාතෘකාවක් නොවේ. ඒ පිළිබඳව ශ්‍රී ලාංකේය අපි අතීතයේදී ද අසා ඇත්තෙමු. අවශ්‍ය වන්නේ එම සංකල්පය අදටද ගළපා ගැනීම පමණි. බහුතරයකගේ නොදැනුවත්කම නිසාම මොළය මියගිය එක් පුද්ගලයකුගෙන් ජීවිතය ලද හැකි තවත් හතර පස් දෙනකුගේම ජීවිත අකාලයේ මිලින වන්නේය.

එළැඹෙන 18 ඉරිදා ජයවර්ධනපුර රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ මූලිකත්වයෙන් හා ශ්‍රී ජයවර්ධනපුර රොටරි සමාජයේ දායකත්වයෙන් පා ගමනක් සංවිධානය කර ඇත්තේද අවයව බද්ධය පිළිබඳව මිනිසුන් දැනුවත් කිරීම උදෙසාය. එම පා ගමන පිළිබඳවත් මොළය මියගිය පුද්ගලයකුගේ අවයව ලබාගැනීමේ වැදගත්කම පිළිබඳවත් 'මව්බිම'ට අදහස් දක්වන්න එකතු වූයේ අවයව බද්ධ කිරීමේ ජාතික ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේය.

"අද වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 25%ක් අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝගයට මුහුණ පා සිටිනවා. හඳුනාගත් හා හඳුනා නොගත් වකුගඩු රෝගීන්ද විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ අය සඳහා තාවකාලික ප්‍රතිකාර ක්‍රමයක් ලෙස රුධිර කාන්දුපෙරණය සිදුකළත් එය කළ හැක්කේ ඉතාමත් සීමිත කාලයකට පමණයි. කළ හැකි අවසන් විසඳුම වන්නේ අවයව බද්ධය පමණයි. ඒ සඳහා හොඳම විසඳුම මොළය මියගිය පුද්ගලයන්ගෙන් අවශ්‍ය අවයව ලබා ගැනීමයි. මෙය අපේ රටට තවමත් අලුත් දෙයක් වුණත් ලෝකයේ බොහෝ දියුණු රටවල සාර්ථකව සිදුවන ක්‍රියාවලියක්. විශේෂයෙන් එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල ඒ වෙනුවෙන්ම සකස් වූ නීති පද්ධතියක් තියෙනවා.

අද අපේ රටේ වසරකට මාරක රිය අනතුරු 2,700ක් පමණ වාර්තා වෙනවා. ඒ වගේම උස් තැන්වලින්, වැටීමෙනුත්, නාන කාමර තුළ ලිස්සා වැටීමෙනුත් රෝහල් ගතවන පිරිස අධිකයි. අද වනවිට හදිසි අනතුරු නිසා රෝහල් ගත වන පිරිසෙන් බහුතරය රිය අනතුරු හා වැටීම් නිසා අනතුරට ලක්වූවන්. ඒ අතරින් මොළය මියගිය විශාල පිරිසක් අපිට හඳුනාගන්න ලැබෙනවා. නමුත් එම පුද්ගලයන්ගේ අවයවවලින් ගතහැකි නිසි ප්‍රයෝජනය ලබාගන්න අපි තවමත් අසමත්.

පුද්ගලයකුගේ මොළය මරණයට පත් වූ බව වෛද්‍යවරුන් දෙදෙනකු විසින් තීරණය කළ යුතුයි. එක් කෙනෙක් විශේෂඥ වෛද්‍යවරයකු වීමත් වැදගත්. රෝගියා දැඩි සත්කාර ඒකකයේත් සිටිය යුතුයි. එමෙන්ම තවත් පැය 6කට පසු සිදුකරන පරීක්ෂණයෙන් පසු නිශ්චිතව පුද්ගලයාගේ මොළය මියගොස් ඇති බව තීරණය කිරීමෙන් අනතුරුව එළැඹෙනුයේ අසීරුම අවස්ථාවයි. ඒ අදාළ රෝගියාගේ ඥාතීන් හා කතාබහ කිරීමයි. මොළය මියගිය රෝගියාගේ අවයව වෛද්‍යවරුන්ට අවශ්‍ය පරිදි ලබාගැනීමට තවමත් අප රට තුළ නීති කෙටුම්පත් සකස් වී නොමැති හෙයින් ව්‍යාකූලව සිටින ඥාතීන් හා සාකච්ඡා කිරීම ඉතාමත් බැරෑරුම් කටයුත්තක්." වෛද්‍ය තුෂාර පවසන්නේ.
"ඇතැම් පුද්ගලයන්ගේ මිථ්‍යා මත මෙවැනි අවස්ථාවලදී අපිට හරස් වෙනවා. සමහර දේවාලවල කපු මහත්තුරු කියනවලු පැය 24ක් තුළ ලෙඩා නැඟිට්ටවලා දෙනවා කියලා. මෙවැනි දේවල් නිසා නිවැරැදි කරුණු කාරණා පහදද්දී අපි විශාල අසීරුතාවකට මුහුණ දෙනවා. මුල ඉඳලා සියල්ල පැහැදිලි කිරීමේදී විශාල වශයෙන් කාලය අපතේ යනවා. නමුත් මෙවැනි මොහොතකදී කාලය අපිට ඉතා වැදගත්. අවයව අක්‍රිය නොවී තබා ගැනීමටත් අදාළ අවයව සඳහා සුදුසු ප්‍රතිග්‍රාහකයකු තෝරා ගැනීමටත් තියෙන්නේ සීමිත කාලයයි. ඒ කාලයෙන් අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕනි. ඥාතීන්ට කරුණු එකින් එක පැහැදිලි කිරීමේදී වැයවන කාලය අපරාදේ. මිනිසුන් මේ සම්බන්ධව දැනුවත් කිරීම අද අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙන්නේ ඒ නිසයි.

වයස අවුරුදු 15 - 60 පමණ දක්වා වූ පුද්ගලයන්ගේ අවයව පමණයි අපිට භාරගන්න පුළුවන් වන්නේ. වයස වැඩි අයගේ අවයව කාලයත් සමඟ ලෙඩ රෝගවලට ආබාධවලට ලක්වීමේ ප්‍රවණතාව වැඩි නිසා එවැනි අයගේ අවයව පිළිබඳව එතරම් අවධානයට ගන්නේ නෑ. මෙය සංකීර්ණ ක්‍රියාවලියක්. ඉන් උපරිම ප්‍රයෝජනය ගන්න නම් අපේ ජනතාව මේ පිළිබඳව දැනුවත් වී සිටීම හරිම වැදගත්. 18 වැනිදා උදෑසන 6.30ට බත්තරමුල්ල දියත උයන ළඟින් ආරම්භ වන පා ගමනට එකතු වී මේ ක්‍රියාවලියට සහාය දක්වන්න කියලත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

තමන්ගේ මියගිය ඥාතියා වෙනුවෙන් කළ හැකි උතුම්ම පින්කම අවයව දානය බව හිතන්න අපි පුරුදු වෙමු. මරණය අබියස සිටින පුද්ගලයන් පස් දෙනකුගේ ජීවිතය රැඳී ඇත්තේ එවන් එක් පුද්ගලයෙක් අතේය. ඔබෙන් සමුගත් ආදරණීයයාගේ ජීවී බව ඔහුගේ වකුගඩුවෙන් අක්මාවෙන් ජීවත් වන පුද්ගලයා තුළින් දකින්න ලැබීමට ඔබට ආස්වාදයක් නොවන්නේද?

චාමිණී ගම්මන්පිල

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon