බැඳුම්කර සැකකරුවෝ හිරගෙදර ඉන්න හැටි

  👤  3381 readers have read this article !
By mawbima 2018-02-18

මෙරට ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව වන බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව කියන දෙවැනි හා තෙවැනි සැකකරුවන් වූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි පලිසේන අප්පුහාමිලාගේ ‍ෙදාන් කසුන් ඕෂධී පලිසේන යන සැකකරුවන් දෙදෙනා මේ වන විට ඉන්නේ බන්ධනාගාරගතවය. ඒ ඉකුත් 04දා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයක් අනුවය.

එසේ බන්ධනාගාරගත කර සිටින එම සැකකරුවන් දෙදෙනා බැලීම සඳහා ඔහුට හිතැති මන්ත්‍රිවරුන් පිරිසක් කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත ගියැයි කියන පුවත රට පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. එම පුවත එසේ පැතිර යෑමට හේතු වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ කතාවක් හේතුවෙනි.

දිසානායක මහතා කතානායකවරයාට දන්වා සිටියේ බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන යන සැකකරුවන් දෙදෙනා හමුවීම සඳහා මන්ත්‍රිවරු පිරිසක් බන්ධනාගාරයට ගොස් ඇති බවට අනාවරණය වන නිසා එම මන්ත්‍රිවරුන් කවුද යන්න පිළිබඳව රටට හෙළි කරන ලෙසය.
සැබැවින්ම එම සැකකරුවන් දෙදෙනා බලන්න කිසියම් මන්ත්‍රිවරුන් පිරිසක් බන්ධනාගාරයට ගොස් තිබේද? එසේ නම් ඒ අය කවුද? ඔවුන් සැකකරුවන් දෙදෙනාව හමුවූයේ ඇයි? මෙය කුතුහලය දනවන කාරණයක්. දිසානායක මහතා පමණක් නොව මුළු රටම දැනගත යුතු කාරණයකි.

"ඇලෝසියස්ලා බලන්න බන්ධනාගාරයට ගිහින් තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි අහවල් මන්ත්‍රිවරු. බැඳුම්කර කොමිසම් විභාගයේදීත් අනාවරණය වූයේ ඒ අයගේ නම් තමයි" සමහරු තැන තැන එසේ ප්‍රචාරයක් ගෙන යන විට තවත් පිරිසක් කිව්වේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක් බවය.

මෙරට මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් දෙදෙනා බලන්න සැබැවින්ම කිසියම් මන්ත්‍රිවරයකු හෝ මන්ත්‍රිවරුන් පිරිසක් බන්ධනාගාරයට ගොස් තිබේද? කාගෙත් සිත්වල කුතුහලය දනවන මෙම කාරණය පිළිබඳව දැනගත යුත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්ය. එයට සුදුසුම පුද්ගලයා බන්ධනාගාර අධිකාරි සුමිත් රංජන්් මහතාය. ඒ ඔහු එම සැකකරුවන් දෙදෙනා රඳවා සිටින බන්ධනාගාරය භාර අධිකාරිවරයා බැවිනි.

"ඔය කතාව අහලා දිනපතාම මට දුරකතන ඇමතුම් විශාල සංඛ්‍යාවක් ලැබෙනවා. මේ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. කිසිදු මන්ත්‍රිවරයකු හෝ වෙනයම් කිසිදු විශේෂිත පුද්ගලයකු ඔවුන් බලන්න බන්ධනාගාරයට ආවේ නැහැ. ඒ අය බලන්න අවශ්‍යයි කියලා කවුරුන් හෝ අපෙන් ඉල්ලීමක් කළොත් බන්ධනාගාර නීතිරීති අනුව ඒකට ඉඩකඩ සලසා දෙන්න අපට සිදුවෙනවා. ඒ මොකද ඔවුන් තාම වැරැදිකරුවන් නොවෙයි. සැකකරුවන් පමණයි. අනෙක් කාරණය මන්ත්‍රිවරු හෝ වෙනයම් අයකු ඔවුන් බලන්න ආවා නම් ඒ බව හංගන්න අපට අවශ්‍යතාවක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මම කියපු දේ කවුරුන් හෝ පිළිනොගන්නේ නම් මම ඒ අයට අභියෝග කරනවා එම සැකකරුවන් බලන්න ආව ගිය බව කියන මන්ත්‍රිවරු හෝ වෙනයම් විශේෂිත අයෙක් ඉන්නවා නම් ඒ අයගේ නම් හෙළි කරන්න කියලා. මම අවසන් වශයෙනුත් කියන්නේ එම සැකකරුවන්ගේ ඥාතීන් හැර වෙන කිසිදු විශේෂිත පුද්ගලයකු බන්ධනාගාරයට ආවේ නැහැ කියන එකයි. බන්ධනාගාර අධිකාරිවරයා කියන ආකාරයට එවැනි කිසිදු මන්ත්‍රිවරයකු බන්ධනාගාරයට ගොස් නැත. එසේ ගිය අයෙක් ඉන්නවා නම් ඒ අයගේ නම් හෙළි කරන්න යැයි ඔහු අභියෝග කරන්නේ ඒ නිසාය.

"තොරතුර අනුව දැනට අනාවරණය වන කාරණය වන්නේ එම සැකකරුවන් දෙදෙනා බැලීම සඳහා මැගසින් බන්ධනාගාරය වෙත යන්නේ ඔහුගේ බිරිය, ඥාතීන් හා ඔහුගේ හිතවතුන් යන අය පමණක් බවය.
ඇතැම් අය කියනවා මෙම සැකකරුවන් දෙදෙනාට විශේෂ පහසුකම් සලසලා ඇති කියලා. ඒ අයට එහෙම විශේෂ පහසුකම් සලසන්න අපට අවශ්‍ය නැහැ. සිරකරුවන්ටත් සැකකරුවන්ටත් හැමෝටම අපි සලකන්නේ

මානුෂීය ආකාරයටයි. තමන්ට ගෙදරින් ගේන කෑම කන්න අවශ්‍ය අවසරය ලබා දෙන්න කියලා ඔවුන් අපෙන් ලිඛිත ඉල්ලීමක් කළා. ඒ අනුව ඒ අවසරය ලබාදීලා තියෙනවා. ඒ හැම දෙයක්ම දෙන්නේ බන්ධනාගාර නීතිරීති අනුව ඉතා පරීක්‍ෂා සහගතවයි. ඒ දෙන්නාට මෙට්ට පාවිච්චි කරන්න බන්ධනාගාර වෛද්‍යවරයා නිර්දේශ කරලා තියෙනවා. ඒ අනුව හකුළන වර්ගයේ බිම නිදාගත හැකි කුඩා මෙට්ට දෙකක් ඔවුන්ට ලබාදීලා තියෙනවා. ඒවා විශේෂිත ඒවා නොවෙයි. වෛද්‍ය නිර්දේශ මත හැමෝටම දෙන්නේ ඒවා පමණයි. අධිකාරිවරයා ඒ තොරතුරු හෙළි කළේ එම සැකකරුවන් දෙදෙනාට විශේෂිත පහසුකම් සලසාදීලා තියෙනවා කියන කතාව ඇත්තක්ද යන්න පිළිබඳ අප විමසූ කරුණට පිළිතුරු දෙමිනි.

අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන බන්ධනාගාරය තුළ සිටින්නේ එවන් පසුබිමකය. බන්ධනාගාර අධිකාරිවරයා කියන්නේ එසේය. ඔවුන් දෙදෙනා රඳවා තිබෙන්නේ මැගසින් බන්ධනාගාරයේ
ඊ වාට්ටුව තුළයි.

එම වාට්ටුවේ විශේෂත්වයක්ද තිබේ. ඒ මීට පෙර බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රිවරු පිරිසක්ද එහි රඳවා තිබීම හේතුවෙනි.
ඇලෝසියස්ලාගේ සිරගත ජීවිතය පිළිබඳ සෙවීමට වඩා ඔවුන් මේ තත්ත්වයට පත්වූයේ ඇයිද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු කාරණයකි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට බී වාර්තාවක් මඟින් ගොනුකර ඇති කාරණයට අනුව ඔවුන් සිදුකර ඇත්තේ මෙරට කිසිවකු මින් පෙර සිදු නොකළ ආකාරයේ මහා පරිමාණ මූල්‍ය වංචාවකි. ඒ 2015 වර්ෂයේ බැඳුම්කර නිකුතුවේදී සිදුවූ යම් අපරාධයක් හෝ අක්‍රමිකතාවක් සම්බන්ධයෙනි.

මෙම සිද්ධියට සම්බන්ධ මෙම පුද්ගලයන් ලෝකයේ ඇති ඉහළම සැප සම්පත් සහිතව අධි සුඛෝපභෝගී ජීවිත ගත කළ අයය. රුපියල් කෝටි ගණන් වැය කරමින් මාධ්‍ය ආයතන ඇතුළු තවත් ව්‍යාපාර රැසක් කඩිමුඩියේ ආරම්භ කරමින් සුවිසල් මන්දිරවල සැපපහසුවට කල් ගෙවූ පුද්ගලයන්ට අද සිදුව ඇත්තේ මදුරුවො තළ තළ බන්ධනාගාරයේ යකඩ කූරු ඇතුළට වී මහ පොළොව මත නිදා ගන්නටය.
දූෂණ වංචා සිදුකර අධර්මිෂ්ඨකාමින් හා අසාධාරණකමින් ජීවත් වන කොයි කාට වුවද සිදුවිය යුත්තේ මේ ටිකය. එය හැමෝම වටහා ගත යුතු කාරණයකි. ඇලෝසියස්ලාට සිදුව තිබෙන්නේ ඒ බව නොතේරීමය.

කෙසේ වුවද මෙම සැකකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ මෙරට නමගිය ප්‍රසිද්ධ නීතිඥයන් පිරිසකි. ඔවුන් අධිකරණයට දක්වන ගල් පැළෙන තර්ක විතර්ක හමුවේ ඔවුන් නිදහස් පුද්ගලයන් වීමටද ඉඩ තිබේ. එසේ නොවන්නේ නම් ඔවුන්ට බරපතළ සිරදඬුවම් ලැබීමටද ඉඩ තිබේ. ඇලෝසියස්ලා වරදක් කර ඇති බව තීරණය කරන්නේ අධිකරණය විසිනි.

ඒ කෙසේ වුවද අවසන් වශයෙන් මෙහි යමක් සඳහන් කළ යුතුව ඇත.
ඇලෝසියස්ලා නිදහස් වුවද සිරගත වුවද ඔවුන් එම වංචාව කර ඇත්නම් ඔවුන්ට හෘද සාක්‍ෂියෙන් ගැලවීමට ඉඩක් නොලැබෙනු ඇත. ඔවුන් දෙවියන් අබිමුව වරදකරුවෝය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon