වෙනස් වෙයිද ආණ්ඩුව

  👤  3269 readers have read this article !
By mawbima 2018-02-18

මෙම තීරයෙන් ඉතා පුළුල් ලෙස විටින් විට සියලුම නායක කාරකාදීන්ගේ කියුම් කෙරුම් දක්වමින්, එහි ප්‍රතිඵල කෙසේ වේදැයි ඉඟි කරමින් පැවැසූ පරිදි ජනමතය පෙළ ගැසී ඇත. දැන් තිබෙන්නේ මින් ඉදිරියට සිදු වන්නේ කුමක්ද යන්න විමසීමය.

"ඇත්තටම වෙන්නේ මොකක්ද?" මෙසේ විමසන්නේ පක්ෂ භේදයකින් තොර පොදු මහජනතාවය. "මහින්ද දිනුවා - දැන් රට මහින්දට" කියලා හිතන පතන අයත් "ජනාධිපති අන්ත පරාදයි. අපි 113ක් හොයාගෙන තනි යූඑන්පී ආණ්ඩුවක් හදනවා" යැයි කියන්නේ යූඑන්පීයයි. ඊට එරෙහිව ශ්‍රීලනිපයේ මෛත්‍රි පිල කියන්නේ "සන්ධානයේ රජයක් පිහිටුවන්න 113ක් සොයාගන්නවා" කියලාය. මේ අනුව යූඑන්පීය හෝ ශ්‍රීලනිපයට ආණ්ඩුවක් පිහිටුවා ගන්නට ඉඩක් ලැබෙන පරිදි මෛත්‍රි අත හෝදගෙන පැත්තකට වී ප්‍රසිද්ධියටද එන්නේ නැතිව ඉන්නට තීන්දු කෙරුණු ජවනිකා රඟ දැක්වුණේය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බහුතර ආසන ගණනාවක් අත්පත් කර ගනිමින් ඉදිරි පෙළ ජයග්‍රහණයක් ලබා ගැනීම නිසා "පාලක සන්ධානය" විමතියට පත් වූ බව විදෙස් මාධ්‍ය කිහිපයක්ද වාර්තා කර තිබුණේය. ඇතැම් මාධ්‍ය කීවේ ගමේ බලය හිටපු ජනාධිපතිවරයාගේ අලුත් දේශපාලන පක්ෂයට හිමි වූ බවය.

ජාත්‍යන්තරයේ තත්ත්වය එසේ වෙද්දී ජනාධිපතිවරයා කරළියට එන්නේ නැතිව තමන්ගේ පිල හා එජාපයත් සමඟ තැන තැන කතාබහ කරමින් සිටියේය. මෙය යම්කිසි අරාජික කාල වකවානුවක් සේ පෙනෙන්නට විය.
"ඇත්තටම රටේ පාලනයක් නැද්ද?" යන්න රට පුරා කතා වන තරමටම තත්ත්වය දුරදිග ගිහින්ය. මේ අතරවාරයේ ජනාධිපතිවරයා හමුවූ ඇමෙරිකානු තානාපති සහ ඉන්දීය තානාපති තත්ත්වය පිළිබඳව කතාබහ කළේ එය හොඳින්ම වටහාගත් නිසාය.

තත්ත්වය මෙසේ තිබියදී කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකය ඉකුත් දින දෙකේදී පහත වැටී තිබුණු අතර එහි අගයද වාර්තාගත ලෙස පහත වැටී තිබුණේය. ආර්ථික විශේෂඥයන් පවසනුයේ විදේශ ආයෝජකයන් 11 දා රජයේ සුරැකුම්පත් විකුණා දැමීමත් සමඟ එලෙස රුපියලේ අගය පහත වැටුණු බවය.
එසේම පළාත් පාලන ඡන්දයෙන් තේරී පත්වූ සභිකයන් 8325 දෙනාගේ වැටුප් හා දීමනා වෙනුවෙන් පමණක් රජය තවත් රුපියල් කෝටි 156ක් සොයාගත යුතු වන්නේය. ඒ මේ සියලු අර්බුද මැදය. ඒ අතර පවතින දේශපාලන තත්ත්වය අනුව ඉදිරි තීන්දු තීරණ ගැනීම සඳහා මහින්දගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පත් කිරීමට 13 දා තීරණය කළේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදීය.

ඔවුන්ගේ පළමු ඉලක්කය වී ඇත්තේ මහ මැතිවරණයක් පැවැත්වීමට ඇති ව්‍යවස්ථාමය බාධාවන් ඉවත් කර ගැනීමට උපක්‍රමික උත්සාහයක් ගැනීමටය. එහිදී එළැඹෙන ඕනෑම තත්ත්වයකට ඒ ඒ අවස්ථාවන් අනුව මුහුණ දීමට ඔවුන් සූදානම් බවක් පෙනෙයි.

ලැබෙන සමීපතම ආරංචි මාර්ගයන්ට අනුව ශ්‍රීලනිපයේ මෛත්‍රි කණ්ඩායමේ බලවත් උත්සාහය වූයේ අගමැති රනිල් ඉවත් කරන, "ශ්‍රීලනිපය මුල් වූ බහුතරයක්" තුළ ගොඩනඟන ආණ්ඩුවකටය. ඊට මෛත්‍රිගේ ආශීර්වාදය නොනිල වශයෙන් තිබුණේය. එහෙත් එය අසීරු ඉලක්කයක් බව දැනුනත් පිරිසක් එම උත්සාහය අත්හැරියේ නැත. ඇතැමුන් දෙගිඩියාවක උන් අතර ඒ හැම දෙනාගේම ඉලක්කය වූයේ රනිල් නැති ආණ්ඩුවක්ය.

මෛත්‍රි වටා සිටින, එජාපයෙන් පැමිණි පිරිසේ ප්‍රබලයන්ට යළි එජාපය තුළ බලවත් වීමක් නොලැබෙන නිසාදෝ රනිල් විරෝධී ක්‍රියාවලිය වේගවත් විය. එහෙත් ඒ අතර ඇතැමුන් මෛත්‍රිට කියා සිටියේ..... "රනිල් තනි කරන්න යෑමත් භයානකයි. එයා තියාගෙනත් බෑ. මහින්ද මහත්තයා බලා ඉන්න විදියත් හොඳ නෑ. රනිල් - මහින්ද විරුද්ධ පැත්තට දාලා වෙන වාසියකුත් නෑ. ඒක භයානකයි. ඒ නිසා ඔබතුමා මේ වැඩේ අත පුච්චගන්නෙ නැතිව කළොත් හො¼දා" කියලාය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් ඉතිහාසයේ කවරදාකවත් මුහුණ නොදුන් පක්ෂ අභ්‍යන්තරයේ අරගලයටත්, අගමැතිකම හා එජාපයේ අනාගතය රැක ගැනීමේ අති දුෂ්කර අවස්ථාවකටත් මුහුණ දී සිටියේය. ඒ නිසාම රනිල්ගේ කනට කර රහසින් උපදෙස් දෙන්නට ඕනෑ තරම් හිතවතුන්ද සිටියේය. ඒ කාට කාටත් ප්‍රශ්නයේ බරපතළකම දැනුණු නිසාවෙන් විය යුතුය.

"සර්... අගමැතිකම අතඅරින්නත් එපා. ආණ්ඩුව අතඅරින්නත් එපා. මෛත්‍රි වටේ ඉන්න බොහොමයක් දෙනා මේ වෙලාවෙ මහින්දගේ පිලේ උපදෙස් අනුව මෛත්‍රිව අවුල් කරන්නයි ලෑස්තිය. ඒ නිසා වැඩේ ගොඩින් බේරගන්න බලන්න."
"නායකතුමා අගමැතිකමේ ඉන්න. සජිත්ට පක්ෂ නායකකම දෙන්න. නවීන්ට උප නායකකම දීලා ජනාධිපතිවරණ සටනට පක්ෂයේ ශක්තිය ගම් මට්ටමෙන් හදාගන්න."
"ඔබතුමා... ඉල්ලා අස්වෙලා කරුට අගමැතිකම දීලා මේ තියෙන ආණ්ඩුව ජනාධිපතිවරණය තියන තුරුවත් ගෙනියන්න දෙන්න."
එජාප නායක රනිල්ට ලැබුණු උපදෙස් එසේ වුවත් ඔහු ඒ කිසිවකට උත්තරයක් දී ගත හැකි තැනක සිටියේ නැත. මහින්ද, ආණ්ඩුවේ නායක දෙපළගේ මේ නාඩි වැටීම හොඳින් ඉව අල්ලමින් සිටියේය.

"ආණ්ඩුවට යන්න දෙන්න. දැන්ම යන්න එපා. මේ දෙගොල්ලො තව ගහමරා ගන්න කාලය ළඟයි. ඒක අපට හොඳයි" යන්න මහින්දට ලැබුණු උපදෙස් අතර ප්‍රමුඛ වූයේය.
එළැඹෙන පළාත් සභා මැතිවරණයද වාසි සහගතව කළමනාකරණය කරගෙන ජයග්‍රහණය ළඟාකර ගැනීම මහින්දගේ ඉලක්කය බව පෙනෙයි. එහෙත් මේ අතර මෛත්‍රි වටා සිටින, යළි කිසිදාක මෛත්‍රි ලබාදුන් ඇමැතිකම් තනතුරු ආයේ මහින්දගෙන් නම් නොලැබේය කියා හිතන ශ්‍රීලනිප මැති ඇමැතිවරු කීවේම ආණ්ඩුව මේ තිබුණු විදියටම ගෙනයමු කියලාය.

ඔවුන් සියලු දෙනාටම තිබෙන ඇමැතිකම් අත්හැර වෙනසකට යන්නට දෙගිඩියාවක් තිබුණු බවක් පෙනුණේය. මෛත්‍රි කීවේම රනිල් ඉවත් කර මහින්දගේ පිරිසකගේද සහාය ඇතිව ශ්‍රීලනිපය බලවත් වන, තීන්දු තීරණ ගැනීමේදී වෙනදාට වඩා ප්‍රමුඛ වන, ආණ්ඩුවක් හදමු කියලාය.
එහෙත් මෛත්‍රිට ආපසු හැරෙන්නට බැරි තැනක සිරවී සිටියේය. ඒ ඔහුව බලයට ගෙනා ප්‍රබලම හවුල්කාරයා වූ එජාපයටත්, එහි නායකයාටත්, පහර පිට පහර දී හදාගත් සිත් රිදවා ගැනීම් හරහා ලබාගෙන තිබුණු ප්‍රතිඵලය බරපතළ වීමය. ඊටත් වඩා මහින්දගේ දූෂණ... වංචා සොයනවා, ඔහුගේ ප්‍රජා අයිතිය නැති කරනවාය යන මතවාදය එළියට දමා, බැඳුම්කර මල්ලෙන් එජාපයට ගහන අතරේ මහින්දටත් පහර පිට පහර දීම නිසාය.
"මෛත්‍රි අවුලක, එයාට රනිලුත් නෑ. මහින්දත් නෑ."

එහෙව් කතා පැතිරෙද්දී රනිල්ගේ හැසිරීම ගැන මහින්ද හොඳින් ඉව අල්ලන බවක් පෙනුණේය. මහින්දට මෛත්‍රිගෙන් වැඩක් නැති තැනට කටයුතු සිදුවී අවසන් වුවත් රනිල් තවමත් මහින්දට ඕනෑ කරන සාධකයක් බව මහින්ද අමතක කරන්නේ නැත. මෛත්‍රි ළඟ සිටින අයද ඔහුට විශ්වාස නැති තරම්ය.
පෙළගැසෙන දේශපාලන නාටකයේ ඉදිරි පිටපත් රචනයට අනුව නම් මෛත්‍රිට හා මහින්දගේ පිලට එක්ව යම් තාක් දුරට හෝ ගමනක් යන්නට හැකි බවට ඉඟි පළවෙයි. ඒ බව වටහා ගන්නා මෛත්‍රිට ආයේ හැරෙන්නට තවත් අලුත් මාවතක් නැත. ඔහුට සිදුවන්නේ ඊට අවනත වනවා හැර පිටුපෑම නොවේ.
එහෙත් ඔහු පසුගිය මැතිවරණය මුව විට තබා ආවේගයෙන් මෙන් කී දෑ රනිල්ටත් මහින්දටත් කාට කාටත් අමතක වන්නට ඉඩක් නැති තරම්ය. ඉන් කිහිපයක් පෙළ ගැස්වීම මේ විග්‍රහයේ දේශපාලන ගැඹුර වටහා ගන්නට ඉඩ හසර සපයනු ඇත.

"වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කරද්දී එන ඕනෑම අභියෝගයකට මා මුහුණ දෙන්න සූදානම්" (2018.01.22)
"හොරු දූෂිතයෝ කවුද කියලා රටම දන්නවා. මොළේ අමාරුකාරයන්ගේ කතාවලට රැවටෙන්න එපා" (2018.01.21)
"මගේ ඇඟේ දුවන්නේ ශ්‍රී ලංකා ලේ. දූෂණයට, වංචාවට, හොරකමට, එරෙහිව කටයුතු කරන්න මම යූඑන්පීද ශ්‍රී ලංකාද කියන එක වැදගත් නෑ" (2018.01.27)
"ජනතාවගේ ජීවන බර වැඩිවෙලා. යූඑන්පීයට ආර්ථිකය හදන්න බෑ. දහවැනිදායින් පස්සෙ ඒ වගකීම මම ගන්නවා" (2018.01.28)
"දූෂිතයන් එක්ක මම මීට පස්සේ ආණ්ඩු කරන්නේ නෑ" (2018.02.07)

මෛත්‍රි කී මේ කතා ඔහුට වෙනස් කරන්නට දැන් බැරිය. ඒ අනුව ඉදිරියේදී ඔහුට පියවරක් නොව පියවර කිහිපයක් ආපස්සට ගන්නට වන පසුබෑමක් මේ මැතිවරණයෙන් ලබා දී ඇත. ලැබෙන සමීප ආරංචිවලට අනුව නොකෙරෙනවා යැයි කියූ දීගය ද සිදුවිය හැකි තරම්ය.
එක්තරා විදියකට එය එසේ වීම වාර්තාගත සටහනක්ද වනු ඇත. ඒ අනුව යහපාලන දීගය නිමවී ශ්‍රී ලනිපය බලවත් වූ ඒකාබද්ධයේ සහාය ලබන ආණ්ඩුවක් ඇතිවීම පුදුම වන්නට දෙයක්ද නොවනු ඇත.

මේ සියල්ලම සාරාංශගත කර ගෙන මහින්දගේ සූදානම වෙනස් වූ එකක් විය හැකිය. එබැවින් මෛත්‍රිට නම් ඉදිරි කාලයේදී රනිල් හා මහින්ද සමඟ වූව පහසුවෙන් ගමන් යා හැකිදැයි කියන්නට තවමත් කල් මදිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon