ධම්මික ගුවනින් ගෙන්නපු අධික මිලැති සුපිරිම කාර් එක

  👤  3582 readers have read this article !
By mawbima 2018-02-18

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මේ වනවිට ලොව පුරා ධන කුවේරයන් 50 දෙනකුට පමණක් අලෙවි කොට ඇති ඉතා මිල අධික 'බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්' වර්ගයේ රථයක් මෙරටට ගෙන්වා තිබෙනවා. බෙන්ට්ලි මෝටර් රථ ලොව බොහෝ ඇතත් මේ මුල්සාන් හෝල්මාර්ක් වර්ගයේ මෝටර් රථයක් දකුණු හා අග්නිදිග ආසියාවේ මෙන්ම මැද පෙරදිග කලාපයට ගෙන්වා ඇත්තේ ප්‍රථම වතාවටයි. මෙය ලෝකයේ මිල අධිකම තනි සෙඩාන් රථය හැටියටත් වාර්තා ගත වෙනවා. ආනයන බදු ද ඇතුළත්ව මෙම රථය ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 160ක් (කෝටි 16ක්) පමණ වෙනවා.

කාර්මික ශිල්පීන් විසින් 'අතින්' නිපදවනු ලබන 'බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්' එංගලන්තයේ කෘෘ නගරයේ පිහිටි කර්මාන්ත ශාලාවේ නිපදවනු ලබන්නේ යම් මිලදී ගන්නකුගේ ඇණවුම මතයි. මේ ආකාරයෙන් මෙතෙක් ලොව මේ වර්ගයේ රථ ඇණවුම් කොට ඇත්තේ 50ක් පමණයි. මේ අතරින් ධම්මික පෙරේරා විසින් ඇණවුම් කරන 50 වැනි රථය නිල් සහ පෝසිලේන් සුදු වර්ණයෙන් යුත් එකක්. ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෙම රථය සඳහා බදු වශයෙන් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 76ක් (කෝටි 7.6ක් පමණ) වෙනවා.

මෙහි මිල මෙතරම් අධික වීමට හේතුව එය නිපදවීම සඳහා මිල අධික අමුද්‍රව්‍ය යොදා ගැනීමයි. උදාහරණයක් ලෙස වාහනයේ බොනට්ටුවේ ඉදිරිපස සවිකොට ඇති 'ෆ්ලයිං බී' ලාංඡනය නිමවා ඇත්තේ කැරට් 23.9 රත්රන්වලිනුයි. බඳ නිපදවා ඇත්තේද මිල අධික ලෝහවලින්. ඇතුළත අලංකරණය සඳහාද රිදී සහ රන් යොදා ගෙන තිබෙනවා. වාහනයේ ආසන ආවරණය සඳහා ලොව අනර්ඝතම සම් වර්ග යොදාගෙන ඇති අතර බිම අතුරා ඇති කාපට්ද එසේම මිල අධික බවින් යුක්තය.

6.75 ලීටර් ඍ - 8 අශ්ව බල 505ක ධාරිතාවකින් යුත් ඇන්ජිමකින් බල ගැන්වෙන බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක් මෝටර් රථයට තත්පර 5.1ක කාලයක් තුළ පැයට කිලෝමීටර් 96ක වේගයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 295ක් පමණ වෙනවා. මෙහි ගියර් පද්ධතිය වේග 8කින් යුක්තයි.
ගැමුණු රත්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon