නැක්සලයිට් චෝදනාවට හිරබත් කාපු විජය බාරව හිටපු ජේලර් ලක්‍ෂ්මන් “මව්බිම”ට කතා කරයි

  👤  3386 readers have read this article !
By mawbima 2018-02-18

ශ්‍රී ලාංකේය සිංහල සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පියා මෙන්ම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ විජය කුමාරණතුංගයන් ඝාතනය කොට වසර 30කි.
1988 පෙබරවාරි මස 16 වැනිදා පොල්හේන්ගොඩ පිහිටි ඔහුගේ නිවෙස ඉදිරිපිටදී විජය ඝාතනය වන්නේ නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකට මැදිවීමෙන් පසුවය. විජය මෙසේ ඝාතනය වීමට වසර 6කට පෙර ජේ. ආර්. ජයවර්ධන රජයේ සිරකාරයකු බවට පත්වන්නේ පවතින රජය කුමන්ත්‍රණයකින් පෙරළා දැමීමට කටයුතු කරන බවට චෝදනා නඟමිනි. රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ 'නැක්සලයිට්' කැරැල්ලකට නායකත්වය දුන්නා යැයි පවසමිනි. ඒ 1982 නොවම්බර් මස 11 වැනිදාය.

මෙසේ අත්අඩංගුවට පත්වන විජය කුමාරණතුංගයන් වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන යන්නේ උසාවි නියෝගයට අනුව රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමටය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතවන විජය කුමාරණතුංගයන්ව භාර වන්නේ එවකට ජේලර්වරයකු ලෙස කටයුතු කළ ලක්ෂ්මන් සිල්වාටය. ඒ අතීතය ගැන ලක්ෂ්මන් සිල්වා මහතාට ඇත්තේ අපූරු මතකයකි.

"මම ජේලර්වරයකු විදියට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැකියාව පටන් අරගෙන බන්ධනාගාර කොමසාරිස් දක්වා පැමිණ විශ්‍රාම ගියා. මගේ සේවා කාලය අවුරුදු 40 කට කිට්ටුයි."
"මේ කාලය පුරාවටම මට විජය කුමාරණතුංග මහත්තයා වගේ සිරකරුවෙක් හමුවෙලා නැහැ. මහ පුදුමාකාර ගති පැවතුම් තිබුණු කෙනෙක් තමයි ඔහු..."
ලක්ෂ්මන් සිල්වා මහතා එසේ කියන්නේ හෘදයාංගම හැඟීමකිනි. ඔහු එසේ කියන්නේ විජය කුමාරණතුංගයන් සමඟ මාස දෙකකට අධික කාලයක් කුලුපගව කතා බහ කළ නිසාය.

"විජේ මහත්තයා හිරගෙදරට අරගෙන එනවිට මම සේවය කළේ බන්ධනාගාර මූලස්ථාන කාර්යාලයේ. ඔහොම ටික දවසක් වැඩ කරනකොට අපට ආරංචියක් ආවා විජය මහත්තයා ළඟ හිටපු බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුගේ සේවය නවත්තලා කියලා."

"ඒකට හේතුවී තිබුණේ විජය මහත්තයට කෑම පැකට් එකක් ගිහින් දුන්න බව කියලත් පසුව දැන ගන්න ලැබුණා."
මේ කාලයේදී බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේ ජේ. පී. දෙල්ගොඩ මහතාය. ඔහු ඉතා කාර්යශූර වගේම යහපත් පුද්ගලයකු ලෙස ප්‍රකටව සිටියේය.
කෙසේ හෝ එක්තරා සවස් වරුවක බන්ධනාගාර කොමසාරිස් දෙල්ගොඩ මහතා ලක්ෂ්මන් සිල්වා නම් වූ ජේලර්වරයාට කතා කළේය.
"ඔබට වගකීමක් භාර දෙනවා. ඔබ විජය කුමාරණතුංග මහත්තයා භාර ජේලර්වරයා හැටියට යන්න ඕනෑ."

ලක්ෂ්මන් සිල්වා මහතා මේ ඉල්ලීම පිළිගත්තේය. ඔහු ඒ අනුව අදාළ රාජකාරි ස්ථානයට වාර්තා කළේය.
"විජය මහත්තයා දේශපාලන සිරකරුවෙක්. ඒ වගේම ඔහු ගැන රහස් පොලිසිය නිරතුරුවම ඇහැ ගහගෙන ඉන්නවා. බත් පැකට් දෙක අරන් ගිය ජේලර්වරුන්ගේ වැඩ තහනම් වුණෙත් ඒ හින්දයි."

"දැන් මටත් ඒක අභියෝගයක්." ඒ වගේම මගේ රස්සාව පරිස්සම් කරගෙන මේ රාජකාරිය හරියට කරන්නත් ඕනෑ. කොහොම හරි මම විජය මහත්තයා ඉන්න සිරමැදිරියට ගියා."

විජය කුමාරණතුංගයන් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එන විට ඔහු රඳවා තබන්නට නියමිත සිර මැදිරිය පිහිටි ස්ථානයේ විසූ සියලු සිරකරුවන් වෙනත් සිරමැදිරිවලට මාරු කර යවා තිබිණි. ඒ අනුව විජය වැලිකඩ බන්ධනාගාරයේ 'ඩ් වාට්ටුව' නමින් ප්‍රකට ගොඩනැඟිල්ලේ විශේෂ සිරමැදිරියකට ඇතුළුකොට ඉබි යතුරු දමා තිබිණි.
විජය මහත්තයා හිටපු සිරමැදිරිය අඩි 15 - 30 විතර බිම් ප්‍රමාණයක්... ඒ ප්‍රමාණය වටකොට යකඩ දැල් ගසා තිබුණා. මටත් ඉන්න තිබුණේ ඒ සිරමැදිරියේම මුල් කොටසේ තැනක. ඉතින් සිරගෙදර ඇතුළේ ඉන්න විජය මහත්තයා එක්ක මම හැම වෙලාවම කතා කරනවා.
විජය කුමාරණතුංග නම් වූ ජනප්‍රිය රංගන ශිල්පියා ගැන මුලදී ලක්ෂ්මන් සිල්වා නම් වූ ජේලර්වරයාට කිසිදු විශේෂත්වයක් තිබුණේ නැත. කොටින්ම ඔහුගේ සිනමා රංගන පිළිබඳ පැහැදීමක් හෝ ලක්ෂ්මන් සිල්වාට තිබුණේ නැත.

"ඇත්තටම මම ඒ නළුවට කැමැති නැහැ. ඒත් ටික දවසක් යනකොට මම විජය කුමාරණතුංග කියන මනුස්සයට හුඟක් කැමැති වුණා. ඔහු පුදුමාකාර මනුස්සකමකින් පිරුණු කෙනෙක් කියලා මම තේරුම් ගත්තා. ඒ නිසාම මම ඔහුට වඩාත් ළං වුණා."
දින සති ගණන් කාලය ගෙවී යද්දී ලක්ෂ්මන් සිල්වා නම් වූ ජේලර්වරයා විජය කුමාරණතුංග නමැති මිනිසාගේ හිත මිතුරකු වූයේ ඔහුටත් නොදැනීමය. එය ඔහුගේම වචනවලින් මෙසේය.

"විජය මහත්තයා මිනිසුන්ගේ ජීවන ප්‍රශ්න ගැන හදවතින්ම කතා කළා. දුප්පත් අහිංසක මිනිස්සු විඳින දුක ගැන කතා කළා."
සමහර අවස්ථාවලදී ඔහු මගෙන් අහනවා
ලක්ෂ්මන්ගේ පවුලේ කී දෙනෙක් ඉන්නවාද කියලා. ඒ ඊළඟට මේ රටේ ආර්ථික තත්ත්වය, හෙට උපදින දරුවන්ගේ අනාගතය ගැන කතා කරනවා. ඔහුට ඇත්තටම හොඳ දැනීමක් තිබුණා. හැඟීමක් තිබුණා. හැබැයි මේ දේවල් කතා කරන විජය මහත්තයා කොයි වෙලාවකවත් තමන් ඉන්න හිරගෙදර තිබෙන අඩුපාඩු ගැන කතා කළේ නැහැ. වාද කළේ නැහැ.

විජය මහත්තයා නිදා ගත්තේ බිමට දාපු පුළුන් මෙට්ටයක. පාවිච්චි කළේ සිරමැදිරියේ අයිනක තිබුණු පුංචි වැසිකිළිය. වතුර නාගත්තේ එතැනම තිබුණු පයිප්පෙන්. රෑ නිදාගන්න කොට මදුරුවෝ තළනවා. ඔය වගේ දුකක් ඔහු සිරමැදිරියේ සිටි කාලයේ අත්වින්දා.
ලක්ෂ්මන් සිල්වා මහතා පවසන්නේ විජය කුමාරණතුංගයන් විවිධ
විෂයයන් පිළිබඳ මනා දැනුමක් තිබූ පුද්ගලයකු ලෙසය.

ඔහු නොදන්නා විෂයයක් නැහැ. ආගම ධර්මය ගැන කතා කරනකොට බුදු දහම, ක්‍රිස්තු ධර්මය ගැන වාගේම දෙවිවරු ගැනත් කතා කරනවා. ඒ හා සම්බන්ධ කතා කියනවා. දේශපාලනය, ආර්ථිකය ගැන කතා කරන කොටත් එහෙමයි.
විජය මහත්තයා දෙවිවරු ගැන හරියට විශ්වාස කරන බව මට ඔහුගේ කතාබහින් තේරුණා.

තවත් වෙලාවකදි ඔහු මා සමඟ ගී ගයනවා. විජේ මහත්තයාගේ ලස්සන ගීතයත් කියන්නකෝ කිව්වහම ලක්ෂ්මන් මම හුඟාක් කැමති "ගඟ අද්දර" ගීතයට... ඒක කියමු කියලා ඔන්න කියන්න පටන් ගන්නවා.
"ඇත්තටම මට මතක නැහැ ඒක කොයිතරම් වාර ගණනක් කියන්න ඇත්ද කියලා. ඊළඟට තවත් ලක්ෂ්මන් අහලා නැති මගේ ගීත හුඟක් තියනවා කියලා ඒවා කියන්න පටන් ගන්නවා."
ලක්ෂ්මන් සිල්වා මහතා ඒ කිව්වේ විජය කුමාරණතුංගයන්ගේ සිරගෙදර ජීවිතේ රස මුසු අත්දැකීම්ය. එහෙත් ඒ රසමුසු අත්දැකීම් අතර ලක්ෂ්මන්ව දුටු වේදනාකාරී ඇත්දැකීම්ද බහුලව තිබුණේය.

"සමහර වෙලාවට විජය මහත්තයා එයාගේ දරුවෝ ගැන ලොකු වේදනාවකින් කතා කළා. ඔය කාලේ වෙද්දි මගේ දුවගේ වයසත් විජේ මහත්තයගේ දුවගේ වයසට සමානයි."
"ඉතිං මගේ දුව ගැන අහන හැම වෙලාවකදීම විජය මහත්තයා හූල්ලනවා. මම දැක්කා." තාත්තා කෙනෙක් හැටියට දරුවෝ දකින්න බැරිව ඉන්න දුක මට විජය මහත්තයගේ මුහුණින් හොඳටම පෙනුණා."
විජය කුමාරණතුංගයන්ව සිරභාරයට ගත්තේ නැක්සලයිට් කුමන්ත්‍රණයකින් එවකට පැවැති ජේ. ආර්. ජයවර්ධන රජය පෙරලා දැමීමට යන බවට තොරතුරු ලැබුණු නිසා යැයි රහස් පොලිසිය උසාවියට වාර්තා කළේය.

1982 පැවැති ජනාධිපතිවරයේදී එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට තරග කිරීමට ඉඩ නොලැබිණි. ඒ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජය සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබීම කරණකොටගෙනය.
මැතිනිය වෙනුවට ශ්‍රී ලනිපය නියෝජනය කරමින් අවසානයේ තරග බිමට පිවිසෙන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතායි. හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් රට වටා ගොස් ජේ. ආර්. ජයවර්ධන රජයට එරෙහිව ප්‍රබලව හඬ නැඟුවේ විජය කුමාරණතුංගයි.

කෙසේ හෝ ජනාධිපතිවරණයෙන් පසුව විජය කුමාරතුංගයන් මැතිවරණ වේදිකාවලදී කියූ විරෝධාකල්ප කතාන්දරවල එකතුව නැක්සලයිට් චෝදනාවට පසුබිම් වූයේය.
නැක්සලයිට් යනු ඉන්දියානු ඊශාන දිග ප්‍රදේශයෙන් බිහිවූ මාවෝවාදී කැරලිකාර කණ්ඩායමකි. ඔවුහු වරෙක ඉන්දියානු රජයට එරෙහිව සටනක් දියත් කළහ.
විජය කුමාරණතුංගයන් අත්අඩංගුවට ගෙන සිරභාරයට පත්කිරීම හා ඔහුට එරෙහිව ඉන්දියානු නැක්සලයිට් චෝදනාව එල්ල කිරීම අදටත් ගැටලුවකි.

කෙසේ හෝ නැක්සලයිට් චෝදනාව යටතේ අත්අඩංගුවට පත් මේ සුපිරි රංගන ශිල්පියා, එසේත් නැතිනම් දේශපාලනඥයාගේ සුවදුක් බැලීම පවා ලේ නෑයන්ට පමණක් සීමා කර තිබිණි. ඒ නිසාම සිරගතවී සිටි කාලය තුළදී ඔහුගේ සුවදුක් බැලීමට පැමිණියේ චන්ද්‍රිකා මහත්මිය හා සිරිමාවෝ මැතිනිය පමණි.
"සිරිමාවෝ මැතිනිය ආවේ එක පාරයි... ඒ එද්දිත් ඇය සිටියේ අසනීපයෙන්... චන්ද්‍රිකා මැතිනිය නම් හැමදාම වගේ කෑම අරගෙන ආවා.
ඒ එද්දිත් අමුතු අමුතු දේවල් සිරගෙදර ඇතුළේ සිද්ධවුණා.

ලබන සතියට...

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon