අලුත් රජයේ තනතුරු ගන්නේ නෑ

  👤  3627 readers have read this article !
By mawbima 2018-02-18

වර්තමානයේ රට තුළ උද්ගතව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් අලුතින් ස්ථාපිත කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විපක්ෂයේ සිට සහාය ලබා දීමට තීරණය කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

නීතිඥවරුන් දිවුරුම් දීමේ උත්සවයකට සහභාගි වීම සඳහා කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. රට තුළ උද්ගතව ඇති අයහපත් තත්ත්වය සහ ජනතාවට සිදුවී ඇති පීඩාව සැලකිල්ලට ගෙන ඒකාබද්ධ විපක්ෂය මෙම තීරණයට එළැඹුණු බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

අලුතින් ස්ථාපිත කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය කිසිදු මැදිහත් වීමක් නොකරන බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂය තනතුරු ලබා ගැනීමකින් තොරව එම කාර්යය ඉටු කරනු ඇතැයිද කියා සිටියේය.
මේ අවස්ථාවට එක්ව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ රටේ වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ මහ මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බවයි.

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන්නේ දැයි මාධ්‍යවේදියකු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ තමන් හැමදාම රට වෙනුවෙන් සටන් කරන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon