ඇමැති මණ්ඩලය වෙනස් කරනවා: 2020 වෙනකම් යහපාලනය ගෙන යනවා

  👤  3577 readers have read this article !
By mawbima 2018-02-16

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

සතියක් ඇතුළත ඇමැති මණ්ඩලයේ දැනෙන වෙනසක් සිදුකරමින් යහපාලන ජාතික ආණ්ඩුව 2020 දක්වා පවත්වාගෙන යෑමට තීරණය කළ බව එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (14දා) රාත්‍රියේ ජනාධිපති නිල නිවෙසේදී අගමැතිවරයා ප්‍රමුඛ එ.ජා.ප. ජේ‍යෂ්ඨ ඇමැතිවරුන් කිහිපදෙනකුගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹි බව පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කළේය.

එම තීරණය පිළිබඳව එ.ජා.ප. පක්ෂයේ සියලුම අමාත්‍යවරුන්ට සහ එ.ජා පෙරමුණේ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දැනුම් දීම සහ ඉදිරි ප්‍රතිසංධාන කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ඊයේ (15දා) උදෑසන අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැඳුරේදී පැවැත්විණි. එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මහ ලේකම්වරයා සඳහන් කළේ එම අමාත්‍ය මණ්ඩල වෙනසත් සමඟම අමාත්‍යාංශ වැඩසටහන්හි වෙනස්කම් කිරීම් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් සහ පසුගිය කාලය තුළදී අසාර්ථක වූ අමාත්‍යධුර සහ ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ යහපාලන ප්‍රතිපත්ති ආදිය කෙරේ පුළුල්ව අවධානය යොමු කරමින් යහපාලන ආණ්ඩුව තුළ ප්‍රබල ප්‍රතිසංධානය කිරීමක් සිදු කරන බවද කබීර් හෂීම් මහතා මාධ්‍යයට පැවැසීය.

මෙම අමාත්‍ය මණ්ඩල වෙනසට සමගාමීව එ.ජා.ප.යේද දැවැන්ත ප්‍රතිසංධානය කිරීමක් සිදු කරමින් පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදු කරන බවත් එහිදී අගමැති ධුරයේවත් පක්ෂ නායකත්වයේවත් වෙනසක් සිදු නොවන බවත් එ.ජා.ප. පක්ෂ මහ ලේකම් කීය.

මේ වන විට යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ්‍රී ල.නි. පක්ෂයේ යම් මන්ත්‍රිවරුන් පිරිසක් තීරණයකට එළැඹ සිටින බව පැවැසූ හෙතෙම, ඔවුන්ගේ ඉවත්ව යෑමෙන් යහපාලන ආණ්ඩුවේ බහුතරයට කිසිදු ගැටලුවක් පැන නොනැඟෙන බවත් යහපාලන ආණ්ඩුව සමඟින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ල.නි. පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ සියලුම මැති ඇමැතිවරුන් සිටින බවත් ඔහු කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon