රනිල් යයිද? නිමල් එයිද?

  👤  3130 readers have read this article !
By mawbima 2018-02-16

තනි ආණ්ඩුවක් සෑදීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෙන ගිය සටන මේ වන විට අවසන් අදියරේ නව මුහුණුවරකට පැමිණ තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එජාප තනි ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවයි. ඊට විරෝධය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සන්ධාන ආණ්ඩුවක් ගොඩනැංවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එහි අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමට යෝජනා කර තිබෙනුයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාය. එම ආණ්ඩුවට කිසිදු තනතුරක් භාර නොගෙන විපක්ෂයේ සිට සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

ඊයේ සවස් වන විට සන්ධාන ආණ්ඩුවේ බහුතරය නිර්මාණය වී ඇති බවත් තමන්ට බහුතරය තිබෙන නිසා ආණ්ඩුව ගොඩනැඟීමට හැකි බව ජනාධිපතිතුමාට දැනුම් දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු "මව්බිම"ට ප්‍රකාශ කළේය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 15 දෙනකුගේ පමණ සහාය හිමිවන බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර වත්මන් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම සඳහා කටයුතු කිරීමටද එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සූදානම් වෙති. ඊයේ අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමකදී දයා ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ සඳහා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අඩි දෙකක් පස්සට ගත යුතු බවයි. එම යෝජනාවට වෛද්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා විරෝධය පළකර ඇති අතර ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එම ධුරයේ දිගටම කටයුතු කරමින් වත්මන් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බවයි.

මේ අතර ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සමඟ අද සාකච්ඡාවක් හදිසියේ කැඳවා තිබේ. දැනට පවතින දේශපාලන අර්බුදය හමුවේ ගන්නා තීරණය ගැන ජනාධිපතිවරයා මේ සාකච්ඡාවේදී ඉඟියක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත්තේ අදයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon