මුග්ධ බල පොරයේ ආදීනව ඡන්දයෙන් පසු මෛත්‍රි-රනිල් අත්විඳිමින් සිටිනවා

  👤  3376 readers have read this article !
By mawbima 2018-02-16

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දෙවැනි වරට ජනපති පුටුවේ වාඩිවීමටත්, අගමැති රනිල් වික්‍රමසිංහ ජනපති පුටුවේ වාඩිවීමටත් දැරූ මුග්ධ බලපොරයේ ප්‍රතිඵලය මෙවර මැතිවරණයෙන් ඔවුන් අත්විඳින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.
ජ.වි.පෙ. නායකයා අවධාරණය කළේ නැවත ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු නොමැති බවත් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට මැදිහත් වීම නිසැකවම සිදු කරන බවත්ය.

ශ්‍රී ල.නි.ප.යට, එ.ජා.ප.යට වෙනම හෝ එකට හෝ ජනතාවගේ අරමුණ ඉටු කිරීමට ඉඩක් නොමැති බව 2015 ජනවාරි 08 සේම මෙවරත් පැහැදිලිවම ඔප්පු කර හමාර බවද දිසානායක මහතා පෙන්වා දුන්නේය.

"ඉදිරියේදී එක්කෝ යූ.එන්.පී.ය ප්‍රමුඛ ආණ්ඩුවක්, එහෙම නැතිනම් මෛත්‍රි - මහින්ද එක්ව ආණ්ඩුවක්, එහෙම නැත්නම් මේ තියෙන ආණ්ඩුවම ඉදිරියට යෑමක් විතරයි සිද්ධ වෙන්නේ. මොන සාකච්ඡා කළත් එකයි. ගොඩක් දුරට සිද්ධ වෙන්නේ මේ ආණ්ඩුවම මේ විදියට ඇදි ඇදී යාමක් විතරයි. යූ.එන්.පී.යේ පසුපෙළ මන්ත්‍රිවරු ඇමැති කට්ටක් ගන්න හීන මැව්වා. රාජපක්‍ෂ කණ්ඩායම ඡන්ද කාලේ දුන්නු අගමැතිකම ගන්න පොරොන්දුව ඉස්සරහට නඩත්තු කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක ඉන්නවා. මේ අවස්ථාවල හිටපු රජ ගෙවල්වලයි ඉන්න රජ ගෙවල්වලයි සාකච්ඡා තිබ්බට කිසි දෙයක් වෙන්නේ නෑ.

ඒ වගේම ජනාධිපතිවරණයට නැවත ඉල්ලන්න බලාගෙන ඉන්නවා නම්, තවත් පාඩම් ඉගෙන ගෙනත් නැත්තම් ජනාධිපතියි, අගමැතියි තමන්ගේ අවයව හරි තැන පිහිටලාද කියලා පරීක්‍ෂාවක් කරගන්න වෙයි.

රටේ පාලනය අස්ථාවරයි නම් පාලන බලය වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඡන්ද ප්‍රතිඵල මත වෙනස්කම් කරන්න බෑ. මොකද පාර්ලිමේන්තුව විසුරුවනවා නම් 19 සංශෝධනයට අනුව අවුරුදු 4 1/2න් විතරයි පුළුවන්. ඊට කලින් ඕනා නම් 2/3 යෝජනා සම්මත විය යුතුයි. ඒකට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ යුතුයි. එහෙම නැතුව මහින්දවත් චමල්වත් තැන් තැන්වල ඡන්ද තියන්න කියලා වැඩක් නෑ. මේ අයම තමයි පසුගිය කාලේ සැරෙන් සැරේට ඡන්ද තිබ්බේ.

ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 58ක් ගත්ත
රාජපක්‍ෂට මේ පාර ලක්‍ෂ 7ක් අඩුවෙලා. රාජපක්‍ෂට ලැබුණු සාතිශය බහුතරයක් ඡන්ද ජනාධිපතිවරණයේ ඡන්ද. අපිට ලැබුණේ විකල්ප මාවතක් වෙනුවෙන් ලැබුණු ඡන්ද ප්‍රමාණයක්. විකල්ප මාවතක් හදන එක අමාරුයි. නමුත් කළ යුතුයි.
මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ඊයේ (15දා) පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. ඊට ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහත්වරුද එක්වූහ.

මේ වනවිට නිල වශයෙන් මැතිවරණයේ ප්‍රතිඵල ලේඛන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පක්‍ෂ වෙත ලබාදී තිබෙනවා. එයට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද සංඛ්‍යාව හත් ලක්‍ෂ පහළොස් දහසකට ආසන්න ප්‍රමාණයකුත් මන්ත්‍රි ධුර 434ක ප්‍රමාණයකුත් ලැබී තිබෙනවා. මීට පෙර ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ මන්ත්‍රි ධුර 74ක්. එය 360කින් වැඩිවී තිබෙනවා. මහ මැතිවරණයට සාපේක්‍ෂකව ඡන්ද එක්ලක්‍ෂ හැත්තෑ දහසකින් පමණ වැඩිවී තිබෙනවා. ඒ අනුව අපේ රටේ ඡන්දදායකයන් හත්ලක්‍ෂ පහළොස් දහසකට ආසන්න ප්‍රමාණයක් ජ.වි.පෙ. ක්‍රියාමාර්ග, ගමන්මඟ පිළිබඳව විශ්වාසය තබා තිබෙනවා. අපිට වගකීමක් තිබෙනවා ජ.වි.පෙ.

පිළිබඳව විශ්වාසය තැබූ ජනතාවගේ ගෞරවය සහ විශ්වාසය ආරක්‍ෂා කරන්න. අපට ඡන්දය ලබාදුන් ජනතාව තුළ තිබෙන්නේ විකල්ප සමාජ, ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳ වුවමනාවයි. ඒ නිසා අපි සහතික වෙනවා. ඔවුන් අප තුළ තැබූ විශ්වාසය ආරක්‍ෂා කරමින් එම ඡන්දවලට වටිනාකමක් ලබා දෙනවා කියලා. අප වෙත ඡන්දය ලබාදුන් ඡන්දදායකයන්ට කනගාටුවීමට හෝ අත්වැරැද්දක් සිදුවූ බවට පසුතැවීමට ඉඩ තබන්නේ නැහැ. අපට ඡන්දය ලබාදීම පිළිබඳව ආඩම්බර විය හැකි ආකාරයට අපගේ මන්ත්‍රිවරුන් 434 දෙනා සැබෑ ජනතා නියෝජිතයන් ලෙස කටයුතු කරන බවටත් ඒ වෙනුවෙන් අප දේශපාලනය මෙහෙයවන බවටත් ජනතාවට පොරොන්දු වෙනවා.
මේ ප්‍රතිඵලවලට අනුව කිසිදු දේශපාලන ව්‍යාපාරයක් 45% ඉක්මවා ඡන්දය ලබාගෙන නැහැ. ඒ වගේම පළාත් පාලන ආයතන 167ක් කිසිවකුට තනිව බලය පිහිටු වීමට අවස්ථාව ලැබී නැහැ. එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට තවත් කවර හෝ පාර්ශ්වයක් හවුල් කර ගත යුතුව තිබෙනවා. ඒ නිසා මේ වනවිටත් ජනතා විමුක්ති පෙරමුණේ සහාය, දේශපාර්ශ්වයෙන්ම ඉල්ලා තිබෙනවා. එම සභාවල සභාපතිකම් දෙන්න යෝජනා කරනවා. නමුත් අපිට ඡන්දය ලබාදුන් හත්ලක්‍ෂ පහළොස් දහසක ජනතාව අප වෙත පැවරූ කාර්යභාරය වන්නේ කවරකු හා එක්ව ආණ්ඩු පිහිටුවීම නොවේ. හවුල් ආණ්ඩු හැදීම නොවේ. පළාත් පාලන ආයතන තුළත් ඉන් පිටතත් අපේ මන්ත්‍රිවරුන්ගේ කාර්යභාරය වන්නේ අවංක මහජන නියෝජිතයන් ලෙස ජනතාවට සේවය කිරීමයි. එය නොපිරිහෙළා ඉටුකරන බවට අපි සහතික වෙනවා.

මේ වනවිට රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවී තිබෙනවා. එයට සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වගකිව යුතුයි. 2015 ජනවාරි 8 වැනිදා පැවති පාලනය බිඳ දමද්දී රටේ ජනතාවට දේශපාලන වුවමනාවක් තිබුණා. ජනවාරි 8දා පැවති පාලනය බිඳ වැට්ටුවේ ජනතාවගේ පෞද්ගලික වුවමනාවක් නොව, රටේ පොදු දේශපාලන වුවමනාවක් වෙනුවෙනුයි. ඒ වුවමනාව කැටිකර දැක්වූවේ යහපාලනය කියන වචනයයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, වංචා, දූෂණ නතර කීරීම, දූෂිතයන්ට දඬුවම් ලබාදීම, ආර්ථිකය යහපත් දිසාවකට හැරවීම, යහපත් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම එම අවශ්‍යතාව වුණා. නමුත් ආණ්ඩුව පාලන බලය ලබාගත් මොහොතේ සිට ජනතා වුවමනාවට පටහැනිව කටයුතු කළා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ඊළඟ ජනාධිපතිවරණයේදී තමන්ගේ පුටුව ආරක්‍ෂා කර ගන්නේ කෙසේදැයි සුරංගනා සිහිනයක සිටියා. රනිල් වික්‍රමසිංහ එළැඹෙන ජනාධිපතිවරණයේදී අගමැති පුටුව වෙනුවට ජනාධිපති පුටුවේ ඉඳගන්නේ කෙසේදැයි සිහින දැක්කා. මේ දෙදෙනාගේම පෞද්ගලික වුවමනාවන් උඩට ආවා. එහි ප්‍රතිඵල තමයි අද ඔවුන්ට භුක්ති විඳින්න සිදුවෙලා තිබෙන්නේ. වංචනිකයන් දඬුවම් දෙනවා වෙනුවට ඔවුන් ආරක්‍ෂා කළා.

ඒ වගේම ජනතාවගේ පොදු වුවමනාවට අනුව රටේ ආර්ථිකය මෙහෙයවනවා වෙනුවට පැරැණි මජර ආර්ථිකයම ඔවුන් පවත්වාගෙන ගියා. ජනවාරි 8දා ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම වෙනුවෙන් හැකියාව තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කරගත් ජනතා ව්‍යාපාරයකට පමණයි. අපි සහතිකයක් දෙනවා, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කරගත් දේශපාලන මධ්‍යස්ථානයක් ගොඩනඟන්න අපි කටයුතු කරන බවට.

මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න සහ පිළිතුරු මෙසේය.

ප්‍ර. මේ වනවිට මහරගම වෙනුවෙන් ඉදිරිපත් වූ අපේක්‍ෂකයන්ගේ ගැටලුවක් මතුව තිබෙනවා?

පි. ඡන්දදායකයන්ගේ හැසිරීම ගැන මහරගම හොඳ උදාහරණයක්. නව මැතිවරණ ක්‍රමයේ ප්‍රවේශය වුණේ කොට්ඨාසයට වගකියන මන්ත්‍රිවරයෙක් පත් කර ගැනීම. නමුත් මහරගම පත්වෙලා තියෙන්නේ මැතිවරණ බල ප්‍රදේශයේ අය නෙවෙයි. සමහරු බඩල්ගම. සමහරු 1932 ඉපදුණු අය. එක නිවෙසේ ලිපිනයන් තියෙන තුන් හතර දෙනා ඉන්නවා. මෙතන නීතිමය ගැටලුවකුත් තියෙනවා. මේ අයට මහරගම නගර සභාව තුළ මන්ත්‍රි ධුර ගන්න බෑ. රාජපක්‍ෂ කණ්ඩායම ඇත්ත දැන ගෙනමයි මේ වැඩේට සහාය දුන්නේ. එතකොට ඉදිරි වසර 4ක කාලය මහරගම සභාව යා යුත්තේ එම කණ්ඩායමට මන්ත්‍රි ධුර නැති බව උපකල්පනය කරමින්. කොට්ඨාසයෙන් පත්වුණු මන්ත්‍රිවරයා නීති විරෝධී නම් දෙවැනි ස්ථානය දිනාගත් අපේක්‍ෂකයාට මන්ත්‍රි ධුරය ලැබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon