ඡන්ද පතිඵලයෙන් ඔළුව උදුම්මාගෙන මලසමයං නටන්න එපා!

  👤  3190 readers have read this article !
By mawbima 2018-02-16

පැවැති මැතිවරණයේදී දෙමළ අය දෙමළ අය ගැන සිතා තමුන්ගේ පක්ෂවලට කතිරය ගැසූ බවත් මුස්ලිම් පිරිස් මුස්ලිම් පිරිස් ගැන සිතා සිය ඡන්දය පාවිච්චි කළ බවත් සිංහලයා සිංහලයා ගැන සිතා ඡන්දය පාවිච්චි කළ නමුදු මල්ටි කල්චරල් සොසයිටි (ර්භතබඪජභතබභපචත ඉධජඪඥබර) යේ අච්චාරු වුණු සිංහලයන් පිරිස යූඇන්පීයට කතිරය ගැසූ බවත් බොදු බලසේනා හි මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

ඒ හිමියෝ එසේ පැවැසුවේ ඊයේ (15දා) බොදු බල සේනා ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඥානසාර හිමියෝ මෙසේද පැවැසූහ.

අලුත් පක්ෂයක් ලෙස පොහොට්ටුව ප්‍රධාන පක්ෂ සියල්ල අභිභවා ලැබූ ජයග්‍රහණය පිළිබඳව අප සතුටු වෙනවා. මේ ජයග්‍රහණයට සිය සංවිධානය නියමයෙන් හෝ අනියමෙනුත් රටේ ජාතික සංවිධාන වගේම පුද්ගලයන්, ජාතිමාමක කොටස් ඇතුළු බොහෝ දෙනාගෙම කැපවීම, ශක්තිය හා දර්ශනය හේතුවුණා.
ජයග්‍රහණයේ ප්‍රධානම කාරණාව තිබුණෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ළඟ. හිටපු ජනාධිපතිවරයා තමන්ගේ රට තුළ තමන්ගේ භූමිකාවත් එක්ක අත්පත් කරගෙන තියෙන සමාජ ප්‍රාග්ධනය අතිමහත්. ඒක එහෙම නෙවෙයි කියලා කාටවත් කියන්න බැහැ. ඔහුගේ ඉදිරිපත්වීමත් සමඟ මිනිස්සු 2015 ජනවාරි 8 වුණු වැරැද්ද නිවැරැදි කරගෙන තියෙනවා.

මේ ජයග්‍රහණය ගැන කාටවත් ඩෝන් යන්නවත් කවුරුත් උඩපනින්නවත්, දඟලන්නවත් ඕන නෑ. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ශීර්ෂය යටතේ මාධ්‍ය නිවේදන නිකුත් කරනවා 'මුස්ලිම් ජනතාව මුළා කිරීමට තවත් උත්සාහයක් කියලා' ඒ එක්තරා ව්‍යාජ වෙබ් අඩවියක පළ කරපු මාගේ නම සඳහන් කරමින් මුස්ලිම් අන්තවාදයට පහර ගැසීමට පළ වූ වාර්තාවක් සම්බන්ධව. කොහෙවත් යන ව්‍යාජ වෙබ් අඩවිවල පළවන දේවලට වැදගතුන් පිළිතුරු දෙනවා නම් ඔවුන්ගේ දේශපාලන භාවිතාව කුමක්ද යන්න තේරුම් ගත හැකියි. ඒ නිසා ජී.ඇල්. ඇතුළු ඒකාබද්ධයට අපි කියනවා මේ නඟා තියෙන චෝදනා සම්බන්ධව පිළිතුරු දෙන්න කොමිසමක් පත්කිරීම දක්වා කටයුතු කරවන්න කියලා.

මේ නිකුත් කළ නිවේදනයට අදාළ සියලු ප්‍රකාශ ඉතා පිළිකුලෙන් යුතුව බැහැර කරනවා වගේම මෙවැනි අසත්‍ය පුවත් අන්තර්ජාලය හරහා පළ කරන පුද්ගලයන්ට විරුද්ධව සොයා බලන ලෙස පොලිස්පතිතුමාගෙන් අපි ඉල්ලීමක්ද කළා.

මේ රට දැන් තියෙන අස්ථාවර තැන දිහා බලලා මෙවැනි දේ ගැන ගැටුමකට යන්න අපි සූදානම් නෑ. ඒ කාටවත් තියෙන බයකට නම් නෙවෙයි. ඒ ගැටුමකට යන වෙලාවක නෙවෙයි මේ රට දැන් තියෙන්නේ ඉතාම භයානක තැනක. ඡන්දෙන් පස්සේ රට දැන් ගන්ධබ්භ අවස්ථාවකයි පසුවෙන්නේ. මේ වෙන කොට රනිල් මහත්තයාගේ දේශපාලන උපාය ඉතා පැහැදිලියි. ඔහු දන්නවා යූඇන්පීයට ස්ථාවර ඡන්ද තිස් හතර ලක්ෂයක් මේ රටේ තියෙනවා කියලා. ඔහුට සුළු ජාතික ඡන්දත් එකතු කරන්න බලය ගන්න මාන බලනවා.

ගෙනත් ව්‍යවස්ථා දානවා. මහින්දවාදී, මහින්ද චින්තනය තුළ ඉන්න අය, ව්‍යවස්ථාව අරන් පළු අරිනවා. හැබැයි ඒවා ඇතුළේ විසඳුම් නෑ. අන්තිමට රනිල්ගේ මේ කොහොල්ලැ ගුළියේ ඇලිලා සුළු ජාතික ඡන්ද තව තවත් ඉවත් කරගන්නවා. අපිද ඒ ඡන්ද කඩන්නෙ කියලා තේරුම් ගන්න මේ මෝඩයන්ට මොළයක් නෑ. අද ඇමෙරිකාව හෝ ඉන්දියානු තානාපතිවරුන් ඇවිත් මොකක්ද මේ දෙන උපදෙස්. නොදැනීම අපි යටත් විජිත කොලනියක් වෙලා.

රටේ ස්වාමින් වහන්සේ විදියට ඉතා ඉවසීමෙන් වගේම දුරදක්නා නුවණින් කල්පනා කළ යුතු මොහොතක් මේක. බණ අහන රටක, උදේ ඉඳන් හවස් වන තුරු නිවන් ගැන කතා කරන, අතහැරීම පුරුදු කරන රටක මහල්ලන්ට බැරිවෙලා තියෙනවා මේ බලය කියන කාරණාවත් සමඟින් මේක අත හැරලා වැඩක් කරන්න පුළුවන් අයට අවස්ථාව දෙන්න. දැන් මේක නිකං සල්පිලක් වගේ. මල් වට්ටිය 155, 160 කියනව වගේ වෙන්දේසි වෙනවා. ආණ්ඩුවක් හදාගන්න ලොකු පොරයක් තියෙන්නේ. විශාල බලු පොරයක්. මන්ත්‍රිවරු කුණු මාළු වගේ. එහාට මෙහාට විකිණෙන්න, ලංසු තියන්න පටන් අරගෙන තියෙනවා. රටම අරාජික තත්ත්වයට පත්වෙලා. අපි 2015 ජනවාරි 08දාට කලින් කියූ බොහෝ දේවල් සනාථ වෙමින් තියෙන්නේ. අපි එදා කිව්වේ නායකයෙක් හිටියත් මේ රට විනාශයි. නායකයෝ හුඟක් හිටියත් මේ රට විනාශයි කියලා. අද කාටවත් තීන්දුවක් අරගෙන වැඩක් කරගන්න බැරිවෙලා. මෙහෙන් එකඟ වෙද්දී අරපැත්තෙන් කැමැති නෑ. අවසානෙදි කවුරු කවුරුත් මතක තබා ගත යුතයි මේ සෙල්ලම් කරන්නේ රටත් එක්කලා කියලා. දැන් ඉන්නෙ මීට අවුරුදු 5කට කලින් හිටිය ඥානසාර හාමුදුරුවෝ නෙවෙයි. අපේ දර්ශනය ඒකමයි. ඒත් ක්‍රියාමාර්ග නම් වෙනස් කරලා තියෙනවා. ඒ සමඟින් අපි හොඳ තැනක අද ඉන්නවා. මේ වෙලාවෙ පොදුජන පෙරමුණ අපට එරෙහිව බොරු අසත්‍ය ප්‍රකාශ කළත් අපි ඔවුන් හා ගැටෙන්න යන්නෙ නෑ. ඒ මේ රට තිබෙන තැන ගැන සිතා. නමුත් මම ජී.ඇල්. පීරිස්ට කියන්න කැමැතියි මුස්ලිම් ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණාකරලා අපට චෝදනා නඟන්න කලින් ලොකු කණ්ණාඩියක් ගාවට ගිහින් ඇඳුම් උනා දමා අතගාලා බලන්න

නිකන් මේ නින්දෙන් ඇහැරිච්ච පොඩි බබ්බු වගේ මිනිස්සු ඡන්දෙ දුන්නට පස්සේ ඔළුව උදුම්මගෙන මල සමයං නටන්න එන්න එපා. මොකද අපිට මතකයි ඔහුගේ දේශපාලන භාවිතවේ අතීතය. පැකේජය ගේද්දි, ෆෙඩරල් ව්‍යවස්ථාව ගේද්දි කොහෙද හිටියේ කියලා. අපි ඒ ගැන දුක්වෙන්නේ නෑ. අද හරි තැන හිටගෙන ඉන්න එක ගැන සතුටු වෙනවා.

මට ජී.ඇල්ට කියන්න තියෙන්නෙ බල්ලා දුර ගමනක් ගිය කතාව තමයි. උෟගෙ සහචරයො ගමන ගැන අහද්දි උෟ කිව්වේ මිනස්සු ටික නම් හොඳට සැලකුවා. හන්දියක් හන්දියක් ගානෙ හිටිය අපේ එවුන් හපා කෑවා කියාල. සිංහලයෝ අසමඟියට පත්වීම ඇතුළෙ වෙන්නෙත් ඔය ටිකමයි. හැම හන්දියකම හපා කන්නේ අපේ එවුන් මිස වෙන එවුන් නෙවේ.

අප සංඝයා වහන්සේ විදියට කාගේවත් වහල්ලු නොවිය යුතුයි. අපට දර්ශනයක් තියෙනවා. චින්තනයක් තියෙනවා. අපට බුදු හාමුදුරුවො කියන නායකයා ඉන්නවා. බුදු හාමුදුරුවන්ව ගුරුවරයා කරගන්න. භික්ෂුන්ට වලව්වල වළං බාන්න බෑ. වලව්වල රෙදි හෝදන්න බෑ. කළ යුතුත් නෑ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon