‘සාන්තුවරයින්ගේ සටන’ මාර්තු 2-3 ඕවල් පිටියේදී

  👤  2962 readers have read this article !
By mawbima 2018-02-16

ගමිත දෙහිපිටිය

අඛණ්ඩව තුන්වැනි වරටත් ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් 'මොරිස් ජේ ලෙගොක්' කුසලානය වෙනුවෙන් 84 වැනි වරට සංවිධානය කෙරෙන මරදාන ශාන්ත ජෝශප් සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර 'සාන්තුවරයින්ගේ සටන' ක්‍රිකට් තරගය එළැඹෙන මාර්තු මස 2 වැනිදා සහ 3 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තවද මෙම දෙවිදුහල් අතර 'පීටර් ඒ. පිල්ලෙයි' කුසලානය සදහා පැවැත්වෙන සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගය මාර්තු මස 24 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඒ අනුව මෙම තරගය පිළිබඳව කොළඹදී පැවැති මාධ්‍ය හමුවට සමගාමීව ඒ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ඩයලොග් ආසියාටා සමාගම මඟින් අනුග්‍රාහකත්ව චෙක්පත ප්‍රදානය කිරීම සිදුකෙරුණු අතර එම අවස්ථාව සදහා ශාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති ට්‍රේවෝ මාර්ටින් පියතුමන්, ශාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති ට්‍රැවිස් ග්‍රාබි්‍රයල් පියතුමන්, ඩයලොග් ආසියාටා සමාගම නියෝජනය කරමින් එහි සමූහ ප්‍රධාන නිලධාරි ජෙරමි හක්ස්ටබල් මහතාද, ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජිලෝ මැතිව්ස් සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රොෂේන් සිල්වාද එක්ව සිටියහ.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය දරූ තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියෙල් ශාන්ත ජෝසප් විද්‍යාල කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර තුන් ඉරියව් ක්‍රීඩක සන්තුෂ් ගුණතිලක ශාන්ත පීතර විද්‍යාල කණ්ඩායමට නායකත්වය ලබා දෙයි.

මේ අතර කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය 'සාන්තුවරයින්ගේ සටනේ' මෙතෙක් පැවැති තරගවලින් තරග 12ක් ජයගනිමින් පෙරමුණේ පසුවන අතර රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වය යටතේ 2008 වසරේදී හිමි කරගත් ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ට එහි ජයග්‍රහණයක් හිමි කර ගැනීමට නොහැකි විය. විනූ මොහොට්ටිගේ නායකත්වයෙන් 2016 වසරේදී ශාන්ත පීතර විද්‍යාලය අවසන් වරට එහි ජයග්‍රහණය හිමි කරගත් අතර එය ඔවුන් 'සාන්තුවරයින්ගේ සටනේ' ලබාගත් අවසන් ජයග්‍රහණයයි. කෙසේ වෙතත් 2017 වසරේ පැවැති 83 වැනි සාන්තුවරයින්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන් විය.
ඡායාරූපය - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon