දඹුල්ලේ මඩුවක ඉගෙනුම ලැබූ සිසුන්ට පොලිසිය මැදිහත් වී අලුත් ගොඩනැඟිල්ලක්

  👤  3119 readers have read this article !
By mawbima 2018-02-16

දඹුල්ල - කේ. ආරියදාස

දඹුල්ල - තිත්තවැල්ගොඩ ප්‍රාථමික විදුහලේ ජනවාරි 15 වැනිදා 1 වසරට ඇතුළුවූ දරු දැරියන් පිරිසක් තාවකාලිකව ඉදිකරන ලද මඩුවකට ඇතුළත් කළ දුක්බර පුවත ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කෙරිණි.

මැති ඇමැතිවරුන්ගේ මෙන්ම වගකිවයුතු බලධාරීන්ගේ කිසිදු අවධානයක් ඊට නතු නොවීම නිසා මවුපියන් දැඩි අසරණ තත්ත්වයකට පත් වෙද්දී දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය ප්‍රදේශයේ දානපතියකු සමඟ එක්ව සිසු සිසුවියන්ට මාසයක් ගතවීමට මත්තෙන් අලුත් ගොඩනැඟිල්ලක් ඉදිකොට එය භාරදීම සිදු කෙරිණි.

මාතලේ පොලිස් අධිකාරි අයි.බී.ටී. සුගතපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සම්පත් දායකත්වය ලබාදුන් ව්‍යපාරික ටී.ජී. තුෂාර මහතා (ටජ්මහල් ටේලර් අධිපති) ඇතුළු ආරාධිත අමුත්තන් පැමිණ උත්සවාකාරයෙන් පන්ති කාමරය කුඩා දරු දරුරියන්ට ලබාදීම ඊයේ (15දා) සිදු කෙරිණි.

තාවකාලිකව තැනූ කුඩා මඩුවක පසුගිය ජනවාරි 15 දින පාසලට පැමිණි කුඩා දුවා දරුවන්ට හරියටම මාසයක් ගත වන දිනයේ එනම් ඊයේ (15දා) අලුත් ගෙඩනැඟිල්ලට ඇතුළු වීමට හැකි වන පරිදි දඹුල්ල ප්‍රජා පොලිස් ඒකකය සිදුකළ මේ සද්ක්‍රියාව මවුපියන්ගේ මෙන්ම බොහෝ දෙනකුගේ ප්‍රශංසාවට ලක්විය.
ගොඩනැඟිල්ල භාරදීම සඳහා වූ චාම් උත්සවය අවස්ථාවේ මාසයකට පෙර ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වූ රූප රාමු සහ ප්‍රවෘත්ති තිරයක නැවත පෙන්වීම මෙහිදී සිදු කෙරිණි.
ඒ අවස්ථාවේදී මවුපියන් හඬා වැටුණු අයුරු දැක පොලිස් අධිකාරිවරයා ඇතුළු බොහෝ දෙනකුගේ නෙතගට කඳුළු බිඳු එකතු වන අයුරු දැක ගැනීමට හැකිවිය.
සියලු දෙනාටම මෙය සංවේදී අවස්ථාවක් බවට පත්වූයේ ඉතාම අසරණව මඩුවක ඉගෙන ගත් දරුවන්ට නොතෙමී ඉන්නට මසක් ඇතුළත ගොඩනැඟිල්ලක් ලැබීමේ සතුට නිසාවෙනි.

මේ සිද්ධිය වාර්තා කළ සියලුම මාධ්‍ය ආයතනවලට මෙන්ම මෙය පෙන්වා දුන් මාධ්‍යවේදීන්ටද මෙහිදී දඹුල්ල ප්‍රජා පොලිස් ඒකකයේ මෙන්ම ප්‍රදේශ වාසීන්ගේ ප්‍රශංසාව හිමි වීමද විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon