ලංකාව නවාතැන් පොළක් කරගන්නේ හොඳ සත්කාරයක් ලැබෙන රටක් නිසා

  👤  3219 readers have read this article !
By mawbima 2018-02-16

පහන් විජේසේකර

ඡායාරූප: වෙනුර චන්ද්‍රමාලිත
ලෝක මිත්‍රත්ව නිපොන් මාරු නෞකාව නැඟෙනහිර ආසියාව දෙසට සංක්‍රමණය වූ පසු ලංකාව නවාතැන්පොළක් වශයෙන් තෝරා ගන්නේ හොඳ සත්කාරකත්වයක් ලබාදෙන රටක් ලෙස කටයුතු කරන නිසා යැයි නිපොන් මාරු ආදි මිත්‍රත්ව සංසදයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.
ඔහු මේ බව පැවැසුවේ කොළඹ වරායට ඊයේ (15දා) සේන්දු වූ ජගත් මිත්‍රත්ව නිපොන් මාරු නෞකාවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
තරුණ තරුණියන් අතර සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික වශයෙන් අවබෝධයක් ඇති කර ගැනීමටත්, අනේ‍යාන්‍ය අවබෝධය ගොඩනඟා ගැනීමටත් නායකත්ව පුහුණුව වැඩි දියුණු කර ගැනීමටත් යන විවිධ ක්‍ෂේත්‍රවල දියුණුවත් තරුණ ප්‍රජාව තුළ ඇති කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා මෙසේද කීය.

තරුණ තරුණියන් විවිධ රටවල්වලට සංක්‍රමණය කරලා ඒ රටවල තිබෙන ප්‍රශ්න හඳුනා ගන්නවා. නැවක් තුළ හුදෙකලා වෙලා ගත කරමින් එකිනෙකා සමඟ කතා බහ කරමින් ඔවුනොවුන් නිර්දේශ නිගමන ඉදිරිපත් කරනවා. මේ වැඩසටහන සඳහා මේ වන විට ලංකාවේ තරුණ තරුණියන් 194ක් පමණ සහභාගි වී සිටිනවා. 80 දශකයේ සිට විනිවිදභාවයෙන් සිදු කෙරෙන ක්‍රියාවලියක් හරහා තමයි මේ තරුණ තරුණියන් තෝරා ගැනීම සිදු වෙන්නේ. ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ප්‍රතිපත්ති සැකසීමෙන් අනතුරුව ජාතික තරුණ සේවා සභාව ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරනවා. ඒ පළ කරන දැන්වීම්වලට ලැබෙන දහස් සංඛ්‍යාත අයැදුම්පත් අතරින් සුදුසුකම් සපුරා තිබේද යන්න පරීක්‍ෂා කිරීමෙන් පසුව විවෘත තරග විභාගයක් පවත්වනවා. ඒ තරග විභාගයෙන් වැඩිපුර ලකුණු ලබා ගන්නා තරුණ තරුණියන් ටික සම්මුඛ සාකච්ඡාවකට භාජන කරලා ඉන් ඉහළම ලකුණු ලබා ගන්නා අය තමයි තෝරා ගන්නේ.

මෙවර ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 11ක තරුණ තරුණියන් 242කගේ සහභාගිත්වයෙන් නිපොන් මාරු නෞකා වැඩසටහන ශ්‍රී ලංකාව, ජපානය හා ඉන්දියාව යන රටවලදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබිණි.

මෙරට තුළ පැවැත්වෙන තරුණ වැඩසටහන් රැසකින් අනතුරුව නෞකාව අනිද්දා 17දා නැවත ජපානය බලා ගමන් ඇරැඹීමට නියමිතය.
මේ අතර එම වැඩසටහන සමඟ මේ රටට පැමිණි තරුණ නියෝජිත පිරිස ඊයේ (15දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද හමුවිය.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි එම තරුණ නියෝජිත පිරිස ඉතා සුහදව පිළිගත් ජනාධිපතිවරයා ඔවුන්ට සුභාසිංශන පිරිනැමීය.
එම පිරිස වෙනුවෙන් එහිදී ජනාධිපතිවරයා විසින් සමරු තිළිණයක්ද පිළිගන්වන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon