ලුණුගම්වෙහෙර කපු මහතාගේ ඝාතනයට සැකපිට 3ක් අල්ලයි

  👤  3349 readers have read this article !
By mawbima 2018-02-16

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

ලුණුගම්වෙහෙර පොලිස් වසමේ දකුණු ඉවුර කුඩාගම්මාන තුන ප්‍රදේශයේදී පසුගිය 4දා කපු මහතකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට ලුණුගම්වෙහෙර පොලිසිය සමත්වී තිබේ.

අත්අඩංගුවට පත් අය ඇඹිලිපිටිය, වරාකැටිආර ප්‍රදේශයේ හා අවිස්සාවේල්ල නාපාවල මෙන්ම කතරගම කාවන්තිස්සගම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ. දේවාලයේ ප්‍රතිකාර ගැනීමට පැමිණි තම නැඟණියට ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් බහින්බස් වීමකදී කපු මහතා මියගිය බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.
තම නිවෙසේ දේවාලයක් පවත්වාගෙන ගිය අදාළ කපු මහතා ඔහුගේ දේවාලයේදී තියුණු ආයුධයකින් පහරදී පසුගිය 4දා ඝාතනය කර තිබිණි. ඝාතනයට ලක්වූ කපු මහතකු ලෙස සේවය කළ පුද්ගලයා දෙදරු පියකු වන අතර පසුගිය 4දා උදෑසන කපු මහතාගේ නිවෙස වෙත පැමිණ තිබූ කැබ් රථයක් පිටව යන අයුරු ප්‍රදේශවාසීින් දැක තිබිණි. ඒ අනුව ලුණුගම්වෙහෙර පොලිසිය පරීක්ෂණ පවත්වා තිබේ.

පොලිසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ අදාළ කැබ් රථයේ පැමිණි පිරිස දරුවකුගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා කීප අවස්ථාවකදීම මේ දේවාලයට පැමිණ ඇති බවයි.
මේ අතර පසුගිය 3දා කපු මහතාගේ නියමය පරිදි කතරගම වැඩිහිටි කන්දේ පූජාවක් පවත්වා රාත්‍රි දෙහි කැපීමක් සඳහා යළි කපු මහතාගේ දේවාලය පිහිටි ලුණුගම්වෙහෙර නිවෙසට පැමිණ තිබේ.

මේ අවස්ථාවට අදාළ දරුවාගේ පියා මෙන්ම ඔහුගේ නැඟණියක් සහ බිරියද සහභාගි වී තිබේ. මේ අතර එදින රාත්‍රි දරුවාට ප්‍රතිකාර කරන අතරතුර දරුවා වඩා ගෙන සිටි දරුවාගේ පුංචි අම්මාට කපුවා ප්‍රකාශ කර ඇත්තේ දරුවා තමාගේ ඇඟට ස්පර්ශ වන ආකාරයෙන් හැට්ටය උස්සා තබා ගන්නා ලෙසයි. ඒ අනුව දරුවා රඳවාගෙන සිටි අදාළ තරුණියගේ ඇඟද ස්පර්ශ වන ආකාරයෙන් කපු මහතා මතුරන ලද තෙල් දරුවාගේ අතේ ගා තිබේ. මේ අතරතුර දරුවාගේ පුංචි අම්මා වූ 25 හැවිරිදි තරුණිය ආවේශ වී තිබේ.
මේ අවස්ථාවේදී කපු මහතා පවසා ඇත්තේ මෙතන කට්ටිය හිටියොත් බිල්ලක් දෙන්න වෙන බවත් එම නිසා අදාළ තරුණියට ප්‍රතිකාර කරන තුරු නිවෙසින් පිටව යන ලෙසයි. එමෙන්ම අදාළ තරුණියගේ ආරක්ෂාවට තමාගේ මව කැඳවා ගන්නා බවටද කපු මහතා ඔවුන් හට ප්‍රකාශ කර තිබේ.
කාලයක් තිස්සේ කපු මහතාගෙන් දේවාලයේ වැඩකටයුතු කරගත් මොවුන් කපු මහතාගේ කීමට ඇහුම්කන්දී ඇඹිලිපිටියේ තම නිවෙසට ගොස් පසුදා උදෑසන පැමිණ අදාළ තරුණිය රැගෙන නිවෙසට ගොස් තිබේ.
මේ අතරතුර රෝගී දරුවාගේ පියා වන අයට දේවාලයේ කපු මහතාගෙන් දුරකතන ඇමැතුමක් පැමිණ ඇති අතර එහිදී කපු මහතා අසා ඇත්තේ නංගි කොහෙද කියාය. නංගි නැති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කපු මහතා ඔහුගේ නැඟණියගේ ජංගම දුරකතනටද ඇමතුමක් ලබා ගෙන ඇති අතර එම අවස්ථාවේදී අදාළ රෝගී දරුවාගේ පියා වන ඇයගේ සොහොයුරාද එතැන සිට ඇත. කාන්තාවක් සමඟ කතා කිරීමට නුසුදුසු ආකාරයෙන් කපු මහතා නැඟෙණියට කතා කළ දුරකතන සංවාදය ඔහුට ඇසී තිබේ.
මේ සමඟම කෝපයට පත් අදාළ පුද්ගලයා තමාට දේවාලය සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ හිතවතා මෙන්ම, කතරගම ප්‍රදේශයේ පදිංචි අයකුද සමඟ 4දා උදෑසන කපු මහතාගේ දේවාලය පැවැති නිවෙසට පැමිණ නංගිට සිදුකළ දේ ගැන විමසා තිබේ. එහිදී කපු මහතා ප්‍රකාශ කර ඇත්තේ නංගි ගෙනත් දේවාලයේ නවත්වන ලෙසයි.

මෙහිදී කෝපයට පත් තරුණයා ඔහුට අතින් පහරක් ගසා තිබේ. එවිට කපු මහතාද ත්‍රිශූලයෙන් පහර දීමට උත්සාහ ගැනීමේදී කකුල් දෙකට එල්ල කරන ලද පහරින් ඔහු වැටී ඇති අතර ඒ අතරතුර කතරගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අය අත තිබූ පිහිය කපු මහතාගේ සිරුරේ ඇනී තිබේ. පසුව තමන් පැමිණි කැබ් රථයෙන් පලා ගිය බවත් එම පිහියද කපු මහතාගේ බවත් අත්අඩංගුවට පත් සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට පත් ඇඹිලිපිටිය වරාකැටියආර ප්‍රදේශයේ අය වයස අවුරුදු 32ක් හා අවිස්සාවේල්ල නාපාවල පදිංචි අය වයස අවුරුදු 40ක් මෙන්ම කතරගම කාවන්තිස්සගම යන ප්‍රදේශයන්හි පදිංචි අයගේ වයස අවුරුදු 20ක් වේ. මොවුන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වැටලීම තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපති පො.ප. දිසානායක මහතාගේ උපදෙස් මත පො.සැ.පේමදාස (46409), සිසිර (33113), රන්ජිත් (35324), සම්පත් (80286) යන අය විසින් සිදුකර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon