හෘදයාබාධයක් වැලඳී මියගිය ඇල්ල ප්‍රාදේශීය සභා අපේක්ෂක සංජීව කොට්ඨාසයෙන් වැඩිම ඡන්ද අරන්

  👤  3344 readers have read this article !
By mawbima 2018-02-16

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශෝකජනක සිදුවීම්ද සිදුවිය. ඒවා සිහිකිරීම ඇතැම් විට ඊට සම්බන්ධ පාර්ශ්වයන්ට වේදනාවක් ඇතිවිය හැකිය. එහෙත් එමඟින් සිදුව ඇති සෙසු සිදුවීම් පුවත්පතකින් වාර්තා කළ යුතුම ඒවා යැයි හැඟේ.

පළාත් පාලන මැතිවරණයට ඇල්ල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිරිපත්වූ වයස අවුරුදු 36ක්වූ එම්. සංජීව පෙරේරා මහතාටද මුහුණදීමට සිදුවූයේ එවන්වූ දුක්ඛදායක ඉරණමකටය. ඡන්ද ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටින අතරතුර දෙසැම්බර් 31 දින ඔහුව සදහටම මැතිවරණවලින් ඉවත් කිරීමට ඔහුගේ දෛවය කුරිරු විය. හෘදයාබාධයක් වැලඳීම නිසා ඔහු මිය ගියේය. තමාට ඇතිවූ වේදනාව ගැස්ට්‍රයිටිස් රෝගය නිසා හටගත් එකක් යැයි වරදවා තේරුම් ගැනීම නිසා ඔහුට අකාලයේ මෙලොවින් සමු ගැනීමට සිදුවිය. මේ සිදුවීම එතෙකින් නිමා වූයේ යැයි අපට සිතීමට නොහැකි වන ලෙස ඊළඟ සිදුවීම සිදුවන්නේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමඟය. ජීවත්ව සිටියදී මන්ත්‍රිවරයකු නොවූ සංජීව මිය යෑමෙන් පසු මන්ත්‍රිවරයකු බවට පත්වී සිටියි. මෙම ආරංචිය ඔහුගේ මරණයෙන් හිත හදාගෙන සිටි මවුපියන්ටත් බිරියටත් තවත් හිත්වේදනා ඇති කිරීමට සමත් විය. මියගිය සංජීව පෙරේරා තමා ඉදිරිපත්වූ කොට්ඨාසයෙන් වැඩිම ඡන්ද ලබා ජයග්‍රහණය කර තිබිණි. මේ කතාව මෙතෙකින් නිමා කිරීමටද අපට නොහැකි තුන්වැනි සිදුවීමක්ද තිබේ. ඔහුගේ මිය යෑමෙන් මෙලොව ජීවත්ව සිටින සිවු දෙනකුට අත්වී ඇති ඉරණම තුන්වන බේදවාචකයයි. සංජීව නිසා ජීවත්වූ එම සිවුදෙනා දැන් කිසිදු හව්හරණක් නොමැතිව අසරණවී සිටිති. එදිනෙදා ජීවිකාව ගෙනයෑම එම සිවුදෙනාට ගැටලුවක් වී තිබේ. එම සිවුදෙනා අම්මා, රෝගාතුරව සිටින තාත්තා, ඔහුගේ තිස්දෙහැවිරිදි බිරිය හා මාස දහයක් වයසැති සිඟිති දියණියයි. මේ සිවුදෙනාට ජීවත්වීම සඳහා ඇත්තේ රුපියල් 3,900ක මාසික ආදායමක් හා අඳේට ගත් කුඹුරයි. අඳේට ගත් කුඹුර වගා කිරීම සඳහා අවශ්‍ය මූලික වියදම් පියවා ගැනීමට ඔවුන්ට හැකියාවක් නැත. පියා රෝගාතුර වීමෙන් එක්තැන්වී සිටින නිසා එම කටයුතු සොයා බැලීමට හැකියාවක්ද නැත.

මියගිය සංජීව කලක් උෟව පළාතේ මහ ඇමැති චාමර සම්පත් දිසානායක මහතාගේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙසද වැටුපක් නොලබා කටයුතු කර තිබේ. එක් අවස්ථාවකදී මහ ඇමැතිවරයාගේ ජීවිතය බේරා දීමටද සංජීව කැපවූ බව ඔහුගේ පියා අප සමඟ පැවැසීය. සංජීවගේ දේහය තැන්පත් කිරීම සඳහා මිනී පෙට්ටියක් ගැනීමට ගිය වියදම දරා තිබෙන්නේද මහ ඇමැතිවරයා විසිනි. සංජීවගේ බිරිය රැකියාවක් අපේක්ෂා කරයි. සංජීවගේ මවුපියන් ජීවත්වීමට පිළිසරණක් අපේක්ෂා කරයි. ජීවත්ව සිටියදී සංජීව දාන ගෙවල් ආදියට තමාගේ වියදමින් හාල් මිටියක් පරිත්‍යාග කිරීම පුරුද්දක් කරගෙන සිටි බව ඔහුගේ මවුපියෝ පවසති. ඔහු කා අතරත් හිත හොඳ මිනිසකුව සිටි බව සංජීවගේ නිවෙසට ගිය අපට දැනගැනීමට හැකිවිය. දෙවට දිගේ ගමන් කළ බොහෝ දෙනා සංජීවගේ මවුපියන්ට කතාකර යන බව අපද දුටු දර්ශනයකි. සංජීව දෙමළ ජනයා අතරද හිත හොඳ පුද්ගලයෙක්ව සිටි බව ද්‍රවිඩ ජාතිකයෙක් අප සමඟ ප්‍රකාශ කළේය. සංජීව ගොවිතැන් කරන විට එම දෙමළ ජනතාව ඔහුගේ වැඩපළ කරදීමට පැමිණ තිබේ.
මේ ලිපිය නිමා කිරීමට පෙර සංජීවගේ මවුපියන්ගේ හා බිරියගේ ඉල්ලීම සඳහන් කිරීම යුතුකමකැයි හැඟේ. බිරියට රැකියාවක් මවුපියන්ට ජීවත්වීමට පිළිසරණක් කළ හැකි අයෙක් වේ නම් 0574914528 දුරකතන අංකයෙන් සංජීවගේ අම්මා අමතන ලෙස ඉල්ලා සිටිමු.

දියතලාව ජගත් ගාමිණි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon