ආදරවන්තයන්ගේ දිනයට බොදු අරුතක් එක්කළ කොත්මලේ නව කඩ‍ෙදාර ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරය

  👤  3138 readers have read this article !
By mawbima 2018-02-16

වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනය සැමරීම සඳහා කොත්මලේ නව කඩ‍ෙදාර ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ තරුණ බෞද්ධ සමිතියේ පීරිස් හා දායක දායිකාවන් පෙබරවාරි 14 දින ඉතා අපූරු වැඩසටහනක් සංවිධානය කොට තිබිණි.

පෙම්වතුන්ගේ දිනය ලෙස හැඳින්වෙන මෙම දිනය අනිසි ආකාරයෙන් ගත කිරීමට තරුණ තරුණියන්ට ඇති පෙලඹුම වෙනස් කිරීම මෙම කටයුත්තේ වටිනාකම ලෙස දැක්විය හැකිය. මෙම සද්කාර්යයට සහභාගි වීම සඳහා තරුණ පිරිස් විහාරස්ථානය වෙත පැමිණෙන්නේ බැතිබර සිතින් යුතුවය.
ඒ අනුව නව කඩ‍ෙදාර ප්‍රදේශයේ කිලෝමීටර් 20ක් පා ගමනින් ගොස් කොත්මලේ මහවැලි මහ සෑ රදුන් උදෙසා කප්රුක් හා අටපිරිකර පූජා කිරීමේ පින්කම මෙවර මොවුන්ගේ සංවිධායකත්වයෙන් වසර දෙකක් තිස්සේ කරගෙන යයි.

දර්ශනීය පෙරහරකින් ගම්මාන රැසක් පසුකර ගෙන පැය 4ක පමණ පා ගමනකින් පසු මහවැලි මහ සෑ රදුන් වෙත ගමන් කරන මොවුන් එහි ඇති ප්‍රධාන චෛත්‍යය වටා සහ ඇතුළත චෛත්‍ය වටා කප්රුක් පලන්දා අට පිරිකර 200කට අධික සංඛ්‍යාවක් පූජා කොට ආශීර්වාද ලබා ගැනීමෙන් පසු පෙරහරේ පැමිණි සියලුදෙනාටම චෛත්‍ය භූමියේ පිළියෙල කළ රාත්‍රි ආහාර වේල පිරිනමා වැඩිහිටි ආශීර්වාදයද ලබා දෙන ලදී.

මේ උතුම් පින්කම සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ උඩපළාතේ උප ප්‍රධාන සංඝනායක පංචමහා විහාරාධිපති පූජ්‍ය හෙල්බොඩගම සුගතධීර නාහිමියන්ගේ ආශීර්වාදයෙන් නව කඩ‍ෙදාර හා මරදන්කඩවල යන විහාරස්ථාන දෙකෙහි විහාරාධිකාරි තරුණ බෞද්ධ සමිතියේ අනුශාසක පූජ්‍ය ගල්කුලමේ රතනසාර හිමියන්ගේ සංකල්පයකට අනුව තරුණ බෞද්ධ සමිතිය මඟින් සංවිධානය කොට තිබිණි.

මෙම අවස්ථාව සඳහා සහභාගි වූ කොත්මලේ ප්‍රධාන සංඝනායක හා මහවැලි සංවර්ධන කමිටුවේ අනුශාසක තිස්පනේ ජිනානන්ද, උඩපළාත උප ප්‍රධාන සංඝනායක පංච මහ විහාරාධිපති හෙල්බොඩගම සුගතධීර, ‍ෙදාළුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් ගල්පිහිල්ල ගුණරතන බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය පින්නවල යසස්හි යන නාහිමිවරුන් අනුශාසනා පවත්වමින් සඳහන් කළේ අප රටට හා සංස්කෘතියට නොගැළපෙන බටහිරින් පැමිණෙන දේවල් හිස් මුදුනින් පිළිගෙන ඒවාට අනුබල දීම හේතුවෙන් තරුණ තරුණියන් නොමඟට යොමුවීමට හේතුවන බවයි.

එම නිසා වැලැන්ටයින් දිනය අපේ රටේ ආගමට දහමට සංස්කෘතියට සදාචාරයට ගැළපෙන ලෙස තරුණ දරුවන්ගේ සිත් සන්සුන් කරන ඔවුනොවුන්ට ගරු කරන නිරාමිස සුවය ගෙන දෙන දිනයක් බවට පත් කරමුයි පැවැසූ සේක.

තරුණ භික්ෂුන් වහන්සේ තමන් වෙත ගල්කුලමේ රතනසාර හිමියන් තම දායක පේරුවේ තරුණ තරුණියන් වසර 2ක් පුරා මෙවැනි වැඩසටහනකට යොමු කරගැනීම මෙරට අනෙකුත් විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් හටද සිතා බැලිය යුතු කරුණක් බවද මෙහිදී උන්වහන්සේලා පෙන්වා දුන්හ.

මහවැලි මහ සෑරදුන් අබියස රාත්‍රි 10 පසුවන තුරු පැවැත්වූ මෙම වැඩසටහනේ ආගමික කටයුතු මහවැලි මහ සෑ විහාරයේ විහාරවාසී බෝපත්තලාවේ පේමානන්ද හිමියෝ පැවැත්වූහ.


ගම්පොළ - මාධව බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon