හැකි නම් ගෝඨාට එරෙහිව නඩු දාන්න

  👤  4182 readers have read this article !
By mawbima 2018-02-15

ඩී.ඒ. රාජපක්‍ෂ සිහිවටනය ඉදිකිරීමේ සිද්ධිය පාදක කරගෙන අභූත චෝදනා මත හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ගන්නා උත්සාහය අතහැර දමා හැකි නම් ඔහුට එරෙහිව නඩුවක් පවරන ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේදී නීතිපතිවරයාට ඊයේ (14දා) අභියෝගයක් කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී්‍රති පද්මන් සූරසේන හා විනිසුරු ශිරාන් ගුණරත්න යන ද්විපුද්ගල විනිසුරු මණ්ඩලය හමුවේදී මෙම අභියෝගය නීතිපතිවරයාට ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කර තිබූ "රිට්" පෙත්සම පිළිබඳ විභාගයේදීය.

මීට පෙර නඩු විභාගය පැවැත්වුණු ජනවාරි 25 වැනි දින කරුණු දැක්වීමේදීද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් මෙම කරුණු සඳහන් කරන ලද අතර ඊයේ එය අභියෝගයක් ලෙස ඉදිරිපත් කරමින් කියා සිටියේ රාජ්‍ය දේපොළ (පොදු දේපොළ) පනත යටතේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව කරුණු විභාග කිරීමට නීතිපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ කුමන පදනමක් යටතේ ද යන්න ගැටලුවක් බවය.
ගුණානුස්මර්ණ පදනම හා පහත්බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය අතර එළැඹුණ ගිවිසුමක් මත එම ඉදිකිරීම් සිදුකොට අදාළ ගෙවීම් ද සිදුකළ බවට සියලු සාක්කි තිබියදීත් යහපාලන රජය බලයට පත් වීමෙන් පසු පාඨලී චම්පික ඇමැතිවරයා එම ලිපිගොනුව ගෙන්වාගෙන අලුත් ඇස්තමේන්තුවක් සාදවා හිඟ මුදලක් ඇති බවට පෙන්වා මෙම නඩුව පටලවා ඇති බව ද මෙය දේශපාලන පළිගැනීමක් සඳහාම සිදුකොට ඇති බව තහවුරු කිරීමට අවශ්‍ය තරම් සාක්කි පැමිණිලි තුළින් සොයාගත හැකි වූ බව ද කියා සිටියේය.

මෙම කරුණු තහවුරු කිරීමට ප්‍රබලතම සාක්කිය වන්නේ මෙම නඩුව පටලැවීම සඳහා ලබාගෙන ඇති පොලිස් අධිකාරිවරයාගේ සාක්කියේ රුපියල් මිලියන 64ක් ලෙස (ඒ-30 ලෙස සලකුණු කොට ඇති ලේඛනයේ) දක්වා ඇති එම මුදල පසුව රුපියල් මිලියන 85ක් ලෙස වෙනස් කර තිබීම ගැන ගරු විනිශ්චය මණ්ඩලයේ අවධානය යොමු කරවන බව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේය.

තවද මුල් අවස්ථාවේදී රුපියල් මිලියන 25ක් ද, පසුව තවත් රුපියල් මිලියන 33ක්ද වශයෙන් රුපියල් මිලියන 48ක් ගෙවා ඇති අතර එසේ තිබියදී 2015 පාඨලී චම්පික ඇමැතිවරයා අලුත් ඇස්තමේන්තුවක් සාදවා ඒ අනුව රුපියල් මිලියන 85ක් දක්වා එම මුදල වෙනස් කොට ඇති බවද ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.
තවද මෙය රාජ්‍ය දේපොළ පනතට කිසිසේත්ම නොගැනෙන කරුණක් බව ද හැකි නම් ඒ යටතේ නඩුවක් දමන ලෙස තමා අභියෝග කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් විරාජ් දයාරත්න මහතා අධිකරණය අමතමින් කියා සිටියේ උගත් විත්තියේ නීතිඥ මහතා මතු කරන කරුණ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන මිස ප්‍රතිචාරයක් නොදැක්විය හැකි බැවින් ඒ සඳහා නඩු විභාගය කල් තබන ලෙසය.
ඒ අනුව වැඩිදුර විභාගය මේ මස 27 වැනිදාට කල් තබන ලද අතර ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කුමන හෝ පියවරක් ගැනීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය 28 වැනිදා දක්වා දීර්ඝ කරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon