හිටපු DIG ප්‍රසන්න රිමාන්ඩ්

  👤  3180 readers have read this article !
By mawbima 2018-02-15

චාමර අමරසූරිය

සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්...වන විමර්ශනයට අදාළව හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පෙරේදා (13දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට අදාළ වැදගත් සාක්ෂි විනාශ කිරීම, තොරතුරු වසන් කිරීම, මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම ආදී චෝදනාවන් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊයේ (14දා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
විශ්‍රාමික ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරන ලද දැනුම් දීමකට අනුව ඔහු පෙරේදා (13දා) පෙරවරුවේ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
මෙම ඝාතනයට අදාළව ඔහුගෙන් රාත්‍රි 10 පමණ වන තෙක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලිසිය පවසයි.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ වකවානුවේ ප්‍රසන්න නානායක්කාර මහතා ගල්කිස්ස ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත් දකුණ) ලෙස කටයුතු කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව එවක ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතා ඉකුත් 1 වැනිදා අපරාධ පරීක්ෂණ ‍ෙදාපර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෝටර් රථය පිටුපස පැමිණි යතුරුපැදි දෙකක අංක ඔහු විසින් ලියන ලද සටහන් පොතේ ඝාතනයට ලක්වූ දින අදාළ මෝටර් රථයේ තිබී පොලිස් භාරයට ගත් බවය.
පසුව එම සටහන් පොතේ තිබූ අංක පිළිබඳ උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල විසින් ගල්කිස්ස පොලිස් ස්ථානයේ පොලිස් පොතෙහි සටහන් තබා ඇත.
පසුව මේ සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල විසින් එවක ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි හට පවසා තිබේ.

අනතුරුව හේමන්ත අධිකාරි විසින් මේ බව ගල්කිස්ස ප්‍රදේශය භාර එවක නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ප්‍රසන්න නානායක්කාර වෙත දන්වා තිබේ.
ප්‍රසන්න නානායක්කාර විසින් උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල සහ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරිව සිය කාර්යාලයට ගෙන්වා ඉහළ පෙළේ පොලිස් නිලධාරියකුට දුරකතන ඇමතුමක් ගෙන ඇති බව විමර්ශනවලදී හෙළිව ඇත.

පසුව එම ඉහළ පෙළේ පොලිස් නිලධාරිවරයාගේ දැනුම්දීමට අනුව ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටහන් පොත සම්බන්ධයෙන් සටහන් තැබූ පොලිස් පොතෙහි පිටු දෙකක් ගලවා දැමීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එලෙස අනාවරණය වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
එසේම මෙම ඝාතන සිද්ධියට අදාළව එවක පොලිස්පති ලෙස කටයුතු කළ ජයන්ත වික්‍රමරත්න, විශ්‍රාමික ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර, විශ්‍රාමික ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි යන තිදෙනාගේ විදෙස් ගමන් අත්හිටුවීමටද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon